Friday, April 26, 2024
Follow Us
ජාතික රෝහලේ සැත්කම් නතර වී නෑ

හිඟ ප්‍රතික්‍රීයක කට්ටල ලබන මාසයේ රෝහලට


කොළඹ ජාතික රෝහලේ සැත්කම් නතර වී ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රකාශ කළද ප්‍රතික්‍රීයක කට්ටල නොමැතිවීම නිසා නතර වී ඇත්තේ එක් පරීක්ෂණයක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රතික්‍රීයක කට්ටල නොමැතිවීම නිසා සැත්කම් නතර වී ඇත්දැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න විසින් පරීක්ෂණයක් සිදුකර තිබේ.

එම පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ හිඟ ප්‍රතික්‍රීයක කට්ටල ද ලබන මාසය තුළදී ජාතික රෝහලට ලබාදෙන බවයි. එසේම මහරගම පිළිකා රෝහලේ ඇතැම් රෝගීන්ට වෙන් වෙන් වශයෙන් ලබා දෙන ඖෂධවල හිඟයක් පවතින බවත් ඉදිරියේදී එම ඖෂධ ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ලබන දෙසැම්බර් මස තිස් එක්වැනිදා (31දා) වන විට පවතින ඖෂධ හිඟය අවසන් කිරීමට බලාපොරාත්තු වන බව සහ මේවනවිට ඇමරිකානු ඩොලර් මිලියන හැටහයක ඖෂධ ඇණවුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය. එසේම පසුගිය කාලයේ ලෝකයේ ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් සමග ජනතාවගේ පෝෂණ මට්ටමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් එය ශ්‍රී ලංකාවට ද බලපා ඇති බව ඔහු කීය.

Aruna