Sunday, November 17, 2024
Follow Us
විශ්‍රාම යාමේ හැටේ සීමාව නිසා දුම්රිය දුවන්නත් බලපෑම්

රජයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් දෙසැම්බර් 31 වනදා වනවිට 300 කට අධික කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් විශ්‍රාම ගැන්වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එය සැලකිල්ලට ගනිමින් ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට අදාළ අංශවලින් ඉදිරියේදී ඉල්ලීමක් කරන බවයි. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යංශය හරහා මුදල් අමාත්‍යංශයෙන් එම ඉල්ලීම සිදුකිරීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුමත සේවක සංඛ්‍යාව 20,000 ක් පමණ වනවා. එහෙත් මේවනවිට සේවය කරනු ලබන්නේ ඉන් 13,000 ක පමණ පිරිසක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා පැවසුවේ.

මෙරට තුළ දුම්රිය මාර්ගය කිලෝ මීටර් 1,607 ක් පුරා විහිදී තිබෙනවා. ඊට දුම්රිය ස්ථාන 182 ක්, උප දුම්රිය ස්ථාන 165 ක් සහ දුම්රිය නැවතුම්පල 70 ක් ස්ථාපිතයි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් උප දුම්රිය සේවා දෙපාර්තමේන්තු ගණන 09 ක්.

ඒ අතරින් මාර්ග හා කර්මාන්ත, ධාවන බල, යාන්ත්‍රික ඉංජිනේරු සහ සංඥා උප දෙපාර්තමේන්තු දුම්රිය ධාවනය සඳහා අත්‍යවශ්‍ය වනවා.

ලබන දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාම යාමට නියමිත දුම්රිය සේවකයින් 300 කට අධික පිරිසෙන් වැඩි පිරිසක් එම උප දෙපාර්තමේන්තුවට සේවය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා පැවසුවේ.

Neth