Sunday, November 17, 2024
Follow Us
බඩඉරිඟු හෝ ධාන්‍ය වර්ග ආනයනයට අනුමැතිය

වෙළෙඳපොළේ උග්‍ර බඩ ඉරිඟු හිඟයක්


සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි.

අදාළ යෝජනාවට අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වුව ද මේ වන විට වෙළෙඳපොළේ උග්‍ර බඩ ඉරිඟු හිඟයක් පවතී.

තව ද දේශීය වෙළෙඳ පොළෙහි බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 220/- ක් දක්වා වැඩිවීම හමුවේ සත්ත්ව ආහාර මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් හා බිත්තර මිල ගණන් ද වැඩි වී තිබේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ කුකුළු පාලනයේ නිරත වන්නන් කුකුළු පැටව් අභිජනනය කිරීමෙන් තොරව බිත්තර විකිණීම සහ කුකුළු පාලනයෙන් ඉවත්වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වීම හමුවේ බඩ ඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.

Aruna