පිළිකාකාරක අඩංගු බඩඉරිඟු කන්ටේනර් 11ක් භාර ගත්තේ නැහැ
පසුගිය අගෝස්තු මාසය සහ මෙම සැප්තැම්බර් මාසය අතරමැද කාලය තුළදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ලැබුණු බඩඉරිඟු කන්ටේනර් එකොළහක් (11) ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවැසීය.
පසුගිය අගෝස්තු මස විසිහය වැනිදා (26) සිට සැප්තැම්බර් මස එකොළොස්වැනිදා (11) කාලය තුළදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දේශීය සහ විදේශීය වශයෙන් බඩඉරිඟු කන්ටේනර් තිස්තුනක් (33) ලැබී තිබේ.
ඒවායේ සාම්පල පරීක්ෂා කිරීමේදී කන්ටේනර් එකොළහක තිබූ බඩඉරිඟුවල ඇෆ්ලටොක්සීන් බීපීපී තිහ (BPP30) අගය ඉක්මවා තිබූ බව සභාපතිවරයා ඊයේ (22 වැනිදා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
එසේම පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකළ බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ප්‍රශ්නගතව ඇති ඇෆ්ලටොක්සීන් විෂකාරකය අඩංගු ත්‍රිපෝෂ තොග කිසිදු ගර්භණී මවකට ලබා දී නොමැති බවද ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ගර්භණී මව්වරුන් ඇතුළු මව්වරු අනියත බියක් ඇති නොකරගන්නා ලෙසද සභාපතිවරයා කීය.
ඊට අදාළ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට පෙරේදා (21 වැනිදා) භාර දුන් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මීට මාස තුනකට පෙර ත්‍රිපෝෂ සමාගම නිකුත් කළ ත්‍රිපෝෂ තොගයෙහි ඇල්ෆාටොක්සීන් ප්‍රමාණය වැඩි වශයෙන් තිබූ බවට තමා පිළිගන්නා බවත් ත්‍රිපෝෂ සමාගම වාර්තාවල එලෙස ඇල්ෆටොක්සීන් ප්‍රමාණය ඉක්මවා තිබූ බවට සටහන් වී නොමැති බවද සභාපතිවරයා මෙහි දී කියා සිටියේය.
කෙසේ වුවද ඇතැම් අවස්ථාවලදී ත්‍රිපෝෂ අසුරා ඇති පොලිතින් ආවරණයට ආලෝකය වැටීමේදී මෙහි ප්‍රමිතියට යම් ප්‍රමාණයකින් හානි සිදුවිය හැකි නිසා ඉදිරියේ දී ඇලුමිනියම් ඇසුරුමකට ත්‍රිපෝෂ ඇසුරුම් කිරීමට අවධානය යොමු වී ඇත.
මේ වන විට කොළඹ, පුත්තලම, ගම්පහ, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කල් ඉකුත්වීමේ දිනය ළංව ඇති ත්‍රිපෝෂ යළි භාරදෙන ලෙස ත්‍රිපෝෂ සමාගම දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.
එම ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවද ඔහු තහවුරු කළේය.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති කේ.ඒ.පී. බොරැලැස්ස ප්‍රකාශ කළේ නිවෙස්වලට බෙදා හැර ඇති ත්‍රිපෝෂ සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් ඇති බවය. කෙසේ වුවද නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සිදු කළ පරීක්ෂණවලදී ඇෆ්ලටොක්සීන් ඇති බවට හඳුනාගත් ත්‍රිපෝෂ තොග මව්වරුන්ට බෙදා හැර නොමැති බවද එම සංගමය තහවුරු කළේය.
මෙම විෂකාරකය සහිත ත්‍රිපෝෂ ගර්භණී මව්වරුන්ට බෙදාහැර ඇත්ද යන්න පිළිබඳව ඉදිරියේ දී පරී!ක්ෂා කිරීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයා කීය.
මේ අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මෙතෙක් බෙදාහැර ඇති ත්‍රිපෝෂ යළි ලබා දෙන ලෙස නිලවශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී නොමැති බවය.
ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් ඇති බවට හෙළි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයට අද (23 වැනිදා) කැඳවා ඇත.
Aruna