පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු නොකරන රාජ්‍ය අමාත්‍යවරුන් මාස 06 කින් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රජයෙන් ඉල්ලීමක් කරනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනු ලැබුවේ පවතින අර්බුද හමුවේ රට ගොඩනැංවීම සඳහා බවයි.
රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ සිය ධූරයේ කටයුතු කළ යුතු බවයි ඉකුත්දා ප්‍රකාශ කෙරුණේ. එහෙත් රාජ්‍ය අමාත්‍යධූරවල කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබාදිය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවේ.
කෙසේවෙතත් අළුතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් ඉකුත්දා නිකුත් කරනු ලැබුවා. එහි දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන පහසුකම් රාජ්‍ය වියදම් කළමනාකරණය යටතට ගෙන ඇති බවයි.
එබැවින් මහජන මුදල් අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව වියදම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ලේකම්වරුන් පත් නොකරන බවත් කටයුතු සම්බන්ධීකරණයට අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයෙකු යෙදවිය යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන්. රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා නව නතතුරු ඇති නොකළ යුතු අතර අමාත්‍යංශයේ අනුමත කාර්යය මණ්ඩලයෙන් එය සම්පූර්ණ කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.
Neth