කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000 ක් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව, නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එම විගණන වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තාව නිවැරදි නොවන බවට අමාත්‍යංශයේ නිලධාරීන් තමන් වෙත දැන්වූ බවයි.
මෙම විගණන වාර්තාව මාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේද සහ එම වාර්තාවේ ඇතුලත් කරුණුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ද විශේෂ සොයාබැලීමක් සිදුකරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ.
ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ මෙම විගණන වාර්තාවේ සඳහන්. ඒ
අනුව 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වනදා ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ජාතික ශාක ආරක්ෂක පනතට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූල ද නැද්ද යන්න නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීමට පෙර පොහොර ගෙන්වීමට නිර්දේශ කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිකුත් කළ මෙම විගණන වාර්තාවේ නිර්දේශවල දැක්වෙන්නේ මෙම ක්‍රියාවලිය හරහා රජයට සිදුවූ පාඩුව ගණුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අයකරගත යුතු බවයි.
එසේම ශාක ආරක්ෂක පනතට අනුව මෙරටට ආනයනය කළ නොහැකි පොහොර තොගයක් නැව්ගත කිරීම, 2020 - 2021 මහ කන්නයේදී වගාවට අවශ්‍ය පොහොර ගිවිසුම් ප්‍රකාරව ලබා නොදී පාඩුවක් සිදු කිරීම සහ නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ සැපයුම්කරුවන්ට එරෙහිව ද නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවටයි එම නිර්දේශවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
එසේම ශ්‍රී ලංකාවේ නීති රීති ප්‍රකාරව හා ගිවිසුම්වලට අනුකූලව ක්‍රියා නොකළ අදාළ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලෙඛණ ගත කිරීමට ද මෙම විගණන වාර්තාව මඟින් නිර්දේශ කර තිබෙනවා.
Neth