Monday, November 18, 2024
Follow Us
 බිත්තර අවුල රජගෙදරටත් යයි

ගැසට්ටුව නම් රිවස් කරන්නෙ නැහැ- ඇමැති


බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. ලබන බදාදා (07 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙයි. බිත්තර සඳහා පනවා ඇති පාලන මිලට සිය නිෂ්පාදන ලබාදිය නොහැකි බව නිෂ්පාදකයන් විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.

එම නිසා පලන මිල ඉවත් කරන ලෙස නිෂ්පාදකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එසේ නොකරන්නේ නම් බිත්තර පාලන මිල රුපියල් 55ක් – 60ත් අතර මුදලක් පනවමින් ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසද ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ද පෙන්වා දී ඇත. එය ඉදිරි සතියේ දී සිදු කිරීමට නියමිත අතර ඊට පෙර බිත්තර නිෂ්පාදකයන් සමග සාකච්ඡා කිරීමට ද අධිකාරිය සූදානම් වෙයි.

මේ අතර බිත්තර සඳහා පාලන මිලක් නියම කළේ බිත්තර නිෂ්පාදකයන් සමග ඇති කර ගත් ලිඛිත එකඟතාවකින් අනතුරුව බැවින් එම පාලන මිල ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු පැවසීය.

එම නිසා බිත්තර සඳහා මෙලෙස පාලන මිලක් නියම කර ඇත්තේ අමාත්‍යාංශයේ හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිතු මනාපෙට නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ එතුමාගේ ජා-ඇල දඬුගම පිහිටි කාර්යාලයේදී ඊයේ (04 වැනිද) පැවැති එම මාධ්‍ය හමුවේදීය.

රුපියල් 65 ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල අද වනවිට රුපියල් 50ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමට හැකියාව ඇති වී තිබෙන බව පැවසු ඇමැතිවරයා ඉතා අසාධාරණ ලෙස ඉහළ මිලකට බිත්තර අලෙවි කළ අය සඳහා පාරිභෝගික අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.

Aruna