Monday, November 18, 2024
Follow Us
අතිරේක ඉන්ධන තොගත් බෙදා හරින්නැයි බලශක්ති ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඉදිරි දින 03 තුළ සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග බෙදා හරින ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කරන ලෙස දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ.

එමෙන්ම ඉදිරි දින දෙක තුළදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් අඩු කිරීමටද පියවර ගැනීමට නියමිතයි. බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇනවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම වැනි ගැටලු හේතුවෙන් පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවද අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත ද සිල්වා පැවසුවේ පිරවුම්හල් ආශ්‍රිතව යලි පෝලිම් නිර්මාණය වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමුඛතා ලැයිස්තුවක් හරහා ඉන්ධන බෙදාහැරීම හේතුවෙන් බවයි.

මේ අතර ක්‍රියාශීලී සේවකයින් 500 දෙනෙකුගෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙනවා.

එම ආයතන දෙකේ මේවනවිට සේවය කරන සේවකයින් සංඛ්‍යාව 4,200ක්. 26,000ක් සේවය කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලයේ ශ්‍රම බලකාය අඩක් දක්වා අඩු කළ හැකි බවද අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

අකාර්යක්ෂම සේවකයන්ගෙන් සිදු වන්නේ වෘත්තීය සමිති වර්ධනය වීම පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය වනවා. දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය ආයතනවල කාර්යය සාධනය පදනම් කරගත් වැටුප් ක්‍රමයක් අනිවාර්ය බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනද ගාල්ලේ පැවති රැස්වීමකදී මෙලෙස අදහස් පල කළා.

Neth