නැතිවූ හැඳුනුම්පත් සඳහා පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, උක්ත කරුණ සම්බන්ධයෙන් පොලිස් වාර්තා නිකුත් කිරීමේදී පොලිස් ස්ථානයන් මගින් අවිධිමත්ව කටයුතු කරන බවට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුවත් කිරීමක් අනුවයි.
හැඳුනුම්පත් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පුද්ගලයින් වෙත වැරදි උපදෙස් ලබාදෙන බවට නිරීක්ෂණය වන බවයි පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
හැඳුනුම්පත් අස්ථානගත වූ පුද්ගලයන් පදිංචි ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයෙන්ම පොලිස් වාර්තාව ලබාගත යුතු බව, හැඳුනුම්පත් අස්ථානගත වූ දින සිට දින 14 කට පසුව හැඳුනුම්පත් නොලැබුනේ නම් පමණක් පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතු බව, පොලිස් වාර්තාව නිකුත් කිරීම සඳහා අදාළ තැනැත්තා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් පදිංචිය පිළිබඳ සහතිකයක් අවශ්‍ය බවට එළෙස වැරදි උපදෙස් ලබාදෙන බවයි අදාළ චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.
ඒ අනුව මින් ඉදිරියට හැඳුනුම්පත් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් වාර්තා ලබාගැනීම සඳහා පැමිණිලි කිරීමට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු කරනු ලබන පැමිණිල්ලක් එම හැඳුනුම්පත අස්ථානගතවූ බවට සඳහන් කරන ස්ථානයට ආසන්නතම පොලිස් ස්ථානයේ සටහන් කළ යුතුයි.
එම පැමිණිල්ල ලද වහාම අදාළ පොලිස් ස්ථානය මගින් සටහන් කර ගත යුතු බවද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමක් නොකළ යුතු බව ද පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් සියලු පොලිස් ප්‍රධානීන් වෙත යොමු කළ එම චක්‍රලේඛයේ දැක්වෙනවා. 1968 අංක 31 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 16 - එක වගන්තියට අනුව අදාළ උපදෙස් ලබාදී තිබෙනවා.
Neth