විභාග කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
රට සාමාන්‍ය තත්ත්වයක පැවැතියේ නම් වෙනත් විභාග නොපැවතියේ නම් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාස හතරක කාලයක දී ප්‍රතිඵල ලබා දීමට හැකියාව තිබූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ‘ විභාග දෙපාර්තමේන්තුවත් ෆේල් ද ‘ යන සිරස්තලය යටතේ ‘අරුණ‘ පුවත්පතේ ඉකුත් 18 වැනිදා පළ කරන ලද කතුවැකියට අදාළව කරුණු පැහැදිලි කරමිනි.
ප්‍රතිඵල ප්‍රමාද වීමට අදාළව එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වෙයි.
උසස් පෙළ විභාගය අවසන් වූ විගසම, මැයි මාසයේ 23 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබූ අ.පො.ස.(සා.පෙළ) විභාගයේ (2021) සංවිධාන කටයුතු සිදු කරමින් මැයි 23 දින සිට ජුනි මස 01 දින දක්වා පැවැත්වීමට කටයුතු කිරීම. මෙයට පෙර මෙලෙස විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර වෙනත් විභාග පවත්වා නැත.
මෙම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සාමාජිකයන්ට රාජකාරි සඳහා වාර්තා කිරීමට ඉන්ධන හා ප්‍රවාහන පහසුකම් අවම වීම සහ වියදම්වලට සාපේක්ෂව දීමනා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල නොපැමිණීම, පරීක්ෂණය අතරමග නතරවීම ආදී අභියෝගවලට මුහුණ දීමට සිදු වීම.
තවද, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වීමට නියමිත අපේක්ෂකයන්ට ද ඉහත තත්ත්වයන් තුළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වීමට ඉතාම දුෂ්කර වූ අතර අපේක්ෂකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නොපැමිණීම.
විභාගයේ උත්තර පත්‍ර ඇගයීම්වලට සහභාගිවූ පරීක්ෂක කාර්ය මණ්ඩල මුහුණ දුන්, රටෙහි පැවති ඉන්ධන, ප්‍රවාහන ඇතුළු දුෂ්කරතා හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ද සැලසුම් කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වීම.
රටෙහි පැවති අර්බුදකාරී වාතාවරණය, ඉන්ධන ලබා ගැනීමේ හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් නැවත මෙම මස 19, 20, 21 යන දිනවලදී එම පරීක්ෂණ පැවත්වීම.
මැයි මාසයේ පවත්වනු ලැබූ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ද, මෙම කාලවකවානුව තුළම පවත්වාගෙන යෑම සහ ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා ද පරීක්ෂණ මණ්ඩලවලට දීමනා වියදම්වලට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීම ආදී කරුණු හේතුවෙන් ඇගයීම් කාර්ය මණ්ඩල උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වී අවසන් වූවද ප්‍රතිඵල සකස් කිරිමේ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් රාජකාරි සඳහා ගෙන්වා ගැනීමට ඉතා අපහසුවීම සහ රටෙහි පැවති දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සතියකට දින තුනකට සීමා වීම.
දැනට නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය වෙනදාටත් වඩා වැඩි ප්‍රමාණයක් යොදවා ගෙන පෙ.ව. 8.30 සිට රාත්‍රී 12 දක්වා රජයේ නිවාඩු දින ද ඇතුළුව සේවයේ යොදවා ගෙන අගෝස්තු මස අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මුල් අවස්ථාවේදී දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලවල සහ සම්පත් දායකයන්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමේ ඉල්ලීම සලකා බලා ඉන්ධන ලබා දීමට යම් ක්‍රමවේදයක් සකස් වූයේ නම්, ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අගෝස්තු 15 වන දිනට ප්‍රථම නිම කිරීමට හැකියාව තිබුණි.
Aruna