කෘෂිකර්ම ඇමැතිගේ යොජනාව නිසා කැබිනට් මණ්ඩලය රත් වෙයි
දෙසැම්බර් මාසය දක්වා සහල් ආනයනය නතර කරන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇතත්,ඊට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා එකඟතාවක් දක්වා නොමැති බව අනාවරණය වේ.
ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ආනයනයකර ඇත. යල කන්නයේ වී අස්වැන්නද වෙළෙඳපොළට පැමිණෙන බැවින් දෙසැම්බර් මාසය දක්වා සහල් අර්බුදයක් මතු නොවන බවත්, එබැවින් සහල් ආනයනය නොකරන ලෙස යෝජනාවක් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කර තිබේ.
නමුත්, ඊට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති අතර, ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ සහල් ආනයනය කළයුතු බවය.
මේ නිසා තවදුරටත් සහල් ආනයනය කළයුතුදැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම, වෙළෙඳ යන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබේ.
මේ අතර, අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදීද වෙළෙඳ ඇමැතිවරයා පවසා ඇත්තේ තවදුරටත් සහල් ආනයනය කළයුතු බවය. කෙසේ නමුත්, වෙළෙඳපොළේ දේශීය සහල් කිලෝවක් තවදුරටත් අලෙවි කෙරෙන්නේ රුපියල් 200 ඉක්මවාය.
Aruna