රිමාන්ඩ් කළ අයට කන්න දෙන්න යන වියදම අපරාධයක්
කඩදාසි ඉතිරි කරන්න ඊ බුක්
රජයේ ඉස්පිරිතාලවලටත් ගෙවන වාට්ටු ඕනේ
සුපිරි පාසල්වලට ලක්ෂ 10, 15 දෙන දෙමාපියන්ගේ දරුවන්ට මොකටද නොමිලේ නිල ඇඳුම්
සූම් ක්‍රමයෙන් මීටින් තිබ්බාම කෑමබීම, ඉන්ධන වියදම් හා කාලයත් ඉතිරියි
රාජ්‍ය වියදම් කප්පාදු කර දැඩි මූල්‍ය පාලනයක් ගෙන යෑමට රජය තීරණය කර ඇත්තේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රජය අතේ සතේ නැතිව නන්නත්තාර වී ඇති නිසාය. රජය ගත් මූල්‍ය තීරණ උල්ලංඝනය කර මුදල් වැය කළහොත් ඊට වගකිවයුතු ආයතන ප්‍රධානියාගෙන් එම මුදල අයකර ගන්නා බවද ජනපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණි. මෙය සීමාව ඉක්මවා යන රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කළ හැකිද? එය කර ගන්නේ කොහොමද? මේ ඒ ගැන රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.
අපේ රටේ ‘රාජ්‍ය ආදායම‘ කියා අදහස් කරන්නේ පොදු මහජනතාව විසින් රජයට උපන්දා සිට මැරෙන මොහොත දක්වා ගෙවන බදු මුදල්ය. ඒවාට අමතරව සංචාරක ව්‍යාපාරයෙන්, විදෙස්ගත ශ්‍රමිකයන් එවනු ලබන ප්‍රේෂණ සහ ඇඟලුම් කර්මාන්තය මතත් ‘රටේ ආදායම‘ හෙවත් ‘රාජ්‍ය ආදායමේ‘ බර පැටවෙන්නේය.
ඒත් පසුගිය දෙවසරක කාලයක් පුරා පැවති කොවිඩ් වසංගතය සහ ‘රාජ්‍ය ආදායම‘ කළමනාකරණය කර ගැනීමට නොහැකිවන ලෙස කාලයක් තිස්සේ අනුගමනය කරනු ලැබූ අහිතකර තීරණ නිසාවෙන් අද රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ඒ අර්බුදය කෙතරම් දුරදිග ගොස් ඇතිදැයි කියනව නම් අද වනවිට රටේ ‘රාජ්‍ය වියදම‘ පවා පියවා ගැනීමට නොහැකිවන මට්ටමකට පැමිණ ඇත්තේය.
මෙසේ රාජ්‍ය වියදම ලෙස ගත්විට එයට අයත් වන්නේ අප පොදු මහජනතාවට නොමිලේ සපයන ‘සේවා‘ ය. එනම්, අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු සහ ආරක්ෂක අංශය යන සියලුම සේවාවන් මෙම කාණ්ඩයට ඇතුළත් වන්නේය. මෙම සේවාවන් සඳහා රජයක් ලෙස අපිටත් විශාල වියදමක් දරන්නට සිදුවේ. නමුත්, තවදුරටත් ඒ සේවාවන් පෙරපරිදිම කරගෙන යාමට අපට හැකිවේදැයි කියා එක් වරක් නොව දෙවරක් හෝ හොඳින් සිතා බැලිය යුතුය.
එහිදී, මා සිතන්නේ අප සහන සැලසිය යුත්තේ සැබැවින්ම සහන ලැබිය යුතු පිරිසකට පමණක් බවයි. උදාහරණයක් ලෙස අපේ අධ්‍යාපනය ගත්විට සිය දරුවන්ව කොළඹ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන්නට රුපියල් ලක්ෂ දහය සහ පහළොව වියදම් කරන දෙමාපියෝ සිටිති. එසේ රජයේ පාසලකට එන දරුවන්ටත් අප නිල ඇඳුම් සහ පාසල් පෙළ පොත් ආදිය පවා නොමිලේ දෙන්නේය. එත් ඒ දේවල්වලින් ඔවුන්ට කිසිම වටිනාකමක් ඇත්තේ නැත. ඒ ඔවුන්ට ඊටවඩා වටිනාකමින් වැඩි දේවල් සිය මවුපියන් විසින් නිතැතින්ම රැගෙන දෙන නිසාය.
එත් අප එසේ දෙන ඇඳුම් කට්ටල එකක් නොව දෙකක් වුවත් ඒවා මිලදී ගැනීමට නොහැකි දරුවන්ට දීමට හැකි නම් එය කෙතරම් වටීද? නමුත්, නොමිලේ ලැබෙන දෑ අවශ්‍ය නැති මිනිසුන්ට වියදම් කිරීමට අප තවදුරටත් නිකරුණේ වියදම් නොකළ යුතුය. අප සැබැවින්ම සහනයක් දිය යුත්තේ අපේ රටේ ඒ සහනය අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය පිරිසකට පමණකි.
සැබැවින්ම ලංකාවේ ජීවත්වන පුද්ගලයන්ගෙන් සියයට තිහක් හෝ හතළිහක් අතර පිරිසක් විශාල ආදායම් ලබන පුරවැසියන්ය. එත් තවත් බොහෝ දෙනෙක් පොතක් පතක් ගන්නටවත් නොහැකිව ආර්ථික වශයෙන් වරප්‍රසාදයන් නොමැති කොටසක් ද සිටිති. අප කළ යුත්තේ ඒ පිරිසට අවශ්‍ය සහය දීමයි.
අනෙක් අතට රජයේ රෝහල් පද්ධතිය දෙස බැලුවිට එහි පවා මුදල් ගෙවා කාමරයක් වෙන්කළ හැකි වාට්ටු පවතී. ඒවාට යම්කිසි නිශ්චිත වටිනාකමක් දී මුදල් අයකර ගැනීමට හැකිය. ඒ වගේම මේ වාට්ටුවලට පැමිණෙන්නේ සාමාන්‍ය ජනතාව නොව මුදල් දී සේවාවක් ගත හැකි පිරිසයි. ඒ නිසා ඒවාට වටිනාකමක් අය කළාට වරදක් නැත.
අපේ රජයේ රෝහල්වලට හදිසි අනතුරක් වී ගෙනෙන විදෙස් රෝගීන්ට අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය උපරිමයෙන්ම සත්කාර කරන්නේ අප ආගන්තුක සත්කාරයෙන් පොහොසත් රටක් හැටියටයි. එත් අද වනවිට ඒ සත්කාරයන් නොමිලේම ගන්නට හොර රහසේ තවත් පිරිසක් ලංකාවට පැමිණෙති. සාමාන්‍යයෙන් අපේ දකුණු ආසියානු කලාපයේ ජීවත්වන ජනතාව දෙස බලන විට අප සියල්ලන්ටම ඇත්තේ එක හා සමාන මුහුණුවරකි. ඒ සමානකම නිසාම ලංකාවේ රජයේ රෝහල්වලින් අවුරුද්දකට ලක්ෂයකට වඩා වැඩි විදේශිකයන් පිරිසක් නොමිලේ බෙහෙත් හේත් ලබා ගැනීමට ලංකාවට එන බව කා හටවත් පෙනෙන්නේ නැත.
රාජ්‍ය වියදමක් ලෙස ගත්විට අප රජයේ රෝහල්වල බෙහෙත්හේත්වලට පමණක් මිලියන ගණනින් වියදම් කරන්නේය. එය කිසිදු හෙවිල්ලක් නොමැතිව විදේශීයන් හොර රහසේ පැමිණ ප්‍රතිකාර ගත් විට අපේ ජනතාවට වියදම් කිරීමට ඇති මුදල් නිකරුණේ නාස්ති වී යන්නේය. නමුත්, ඔවුන්ටත් සිය රක්ෂණාවරණයෙන් හෝ ඔවුන් සේවය කරනු ලබන ආයතනවලින් හෝ ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් සලකා බලන්නේ නම් අපටත් එයින් විශාල සහනයක් ලැබේ. අපේ රටේ පමණක් නොව පිටරටවලත් සිදුවන්නේත් එම ක්‍රමවේදයයි.
අප අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ ඇති වියදම් ගැන කතා කරන විට බන්ධනාගාර පද්ධතිය ගැනත් මතක් කළ යුතුමය. අද වනවිට අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළ වැරදිකරුවන්ට වඩා සිටින්නේ රිමාන්ඩ් සිරකරුවන්ය. මාගේ මතකයේ විදිහට මීට වසර දෙක තුනකට පෙර අපේ රටේ එක සිරකරුවකුගේ කෑම වේලක් සඳහා රජයට රුපියල් හයසියයක් දරන්නට සිදුවිය. අද රටේ ඇති ආර්ථික තත්ත්වය හමුවේ සිරකරුවකුගේ කෑම වේලකට රුපියල් එක්දහස් පන්සියයක් වත් වියදම් කරන්නට සිදුවේ. එය ඇත්තවශයෙන්ම රජයකට දැරීමට නොහැකි අධික වියදමකි.
සාමාන්‍යයෙන් විදේශයක රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් බන්ධනාගාරයක නොව ඔහුගේ හෝ ඇයගේ නිවසේ සිර අඩස්සියේ තබන්නේය. ඒ ඔවුන් තවමත් නීතියෙන් වරදකරුවන් නොවූ නිසාය. අද වනවිට ලංකාවේ බන්ධනාගාරවල රිමාන්ඩ් සිරකරුවෝ දහඅට දහසක් හෝ විසිදහසක් අතර සංඛ්‍යාවක් සිටිති. ඔවුන් සියලුදෙනාටම රුපියල් එක්දහස් පන්සියයේ කෑම වේලක් දහ අටදහසකට මාසයක් දීමට සිදුවුවහොත් ඒ සඳහා රජයට යන වියදම රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකි. එය වසරකට ගත්විට රුපියල් මිලියන තුන්සිය විසි හතරකි. මෙම මුදලෙන් භාගයක් හෝ අඩු කරගත යුතුය.
කෙසේ නමුදු රාජ්‍ය නිලධාරීන් පවා නිකරුණේ වැය කරන මුදල්හදල් ද තිබේ. පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ට තමන්ගේ රාජකාරිය ගැන හොඳ අවබෝධයක් ඇත්තේය. ඔවුහු තමන්ට ආයතනයෙන් දරන වියදම, සේවක වැටුප, තෙල් වියදම, විදුලියට දරන වියදම ආදී සියල්ලක් ගැනම හොඳින් දනිති. ඔවුන්ගේ ආයතනයට ලැබෙන ආදායම කළමනාකරණය කරමින් සේවාවන්ද දෙමින් කටයුතු කරන ආකාරය ගැනත් පෞද්ගලික අංශයේ සේවකයෝ සිතති. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට ‘රාජ්‍ය සේවකයෝ‘ කටයුතු කරති. මේ අයගේ වියදම් වෙනුවෙන් වැඩිහරියක්ම බදු මුදලින් ගෙවන්නේ අපේ රටේ සාමාන්‍ය පොදු මහජනතාවයි.
මේ වෙනස පැහැදිලිව පෙනෙන්නේ පෞද්ගලික බැංකුවකට ගිය පසුවයි. සාමාන්‍යයෙන් පෞද්ගලික බැංකුවල කෙතරම් පෝලිම් තිබුණත් ගණුදෙනුකාර භවතුන් එය ඉවසාගෙන සිටිති. ඒත් රජයේ බැංකුවකට ගිය පසු එම පුද්ගලයාම වෙනස් ලෙසකින් හැසිරෙන අයුරු දැකගන්නට ලැබේ. ඔවුන් එහි සිටින රාජ්‍ය නිලධාරීන් හා රණ්ඩු සරුවල් පවා ඇති කරගනුලබන අවස්ථා ඕනෑ තරම් දකින්නට ලැබේ. රෝහලකට ගියවිටත් එසේමය. පෞද්ගලික රෝහලේ වැනල් කළ වෛද්‍යවරයා පැමිණෙන තෙක් පැය ගණන් රස්තියාදු වන රෝගීහු රජයේ රෝහලක පෝලිමේ විනාඩි පහක් දහයක් සිටින විට ආතතියට පත්වී කෝලාහල කරගනිති. එයට හේතුව වන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනවලට ගිය විට ඔහු කල්පනා කරන්නේ බදු ගෙවන තමාට පෙරළා උපකාර කරන්නට අවශ්‍ය යැයි සිතන බැවිනි.
එහෙයින් රාජ්‍ය සේවකයන් සෑම විටම සිතිය යුත්තේ මේ තමන් ළඟට පැමිණෙන්නේ තමන් නඩත්තු කරන සාමාන්‍ය ජනතාව බවය. ඔවුන්ට සේවාව කඩිනමින් දීම අපේ යුතුකමකි. උදාහරණයක් ලෙස ගත්තොත් මිනිසුන් ගන්නා සේවාවන් කාලයෙන් කාලයට අනුව වෙනස් වන්නේය. මීට අවුරුදු විස්සකට තිහකට පෙර අයෙක් බැංකුවකට වැඩකටයුත්තක් කර ගැනීමට පැයකට වැඩි කාලයක් ගියානම් එය සාමාන්‍ය දෙයකි. ඒ නිසාම ඔහු බැංකුවට යාමට සඳහා වෙනම දිනයක් වෙන්කර ගෙන ඒ කටයුත්ත කරගන්නට යන කාලය අතරතුර පොළට, ඉස්පිරිතාලයටත් ගොස් අවසානයේදී ගෙදර යන්නේය.
එත් අද තාක්ෂණය දියුණු ලෝකේ එදා ගතවූ පැයම ගතවන්නේ නම් රාජ්‍ය සේවයේ ඇති කාර්යක්ෂම භාවය ගැන කතා කිරීමෙන් පලක් නැත. තවත් උදාහරණයක් ලෙස කියනවා නම් එදා විභාග ප්‍රතිඵල ගමේ පාසල්වලට නිකුත් වූයේ කොළඹ පාසලට ප්‍රතිඵල පැමිණ ඊට දින දෙකකට පසුවය. ඒත් අද විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ ප්‍රතිඵල නිකුත් කළ සැණින් මුළු ලංකාවේම දරුවෝ සිය ප්‍රතිඵලය දැන ගනිති. ඒ සඳහා ඉස්සර මෙන් පාසලට යා යුුතු නැත. ඉන්නා ඕනෑ තැනක සිට අතේ තිබෙන ජංගම දුරකථනයෙන් පවා ප්‍රතිඵල දැන ගැනීමට හැකිය.
එයින් අදහස් වන්නේ මිනිසුන් තමන්ට ලැබෙන සේවාවන් හැකි විගස ලබාගන්නට අපේක්ෂා කරන බවයි. මෙම අපේක්ෂාව අපේ රාජ්‍ය සේවයට අභියෝගයකි. නමුත් තවමත් බොහෝ ආයතන තාක්ෂණය හා සම්බන්ධ වී කටයුතු කරන්නට මැළි කමක් දක්වන්නේය.
මීට මාස කිහිපයකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල විදේශ ගමන් බලපත්‍ර ගන්නට තිබුණේ දැඩි තදබදයකි. මේ ප්‍රශ්නය උද්ගත වූ මොහොතේ අප ආයතන ප්‍රධානියාට කීවේ, වහාම සේවාව දෙන ක්‍රමවේදය වෙනස් කරන ලෙසයි. ඒ අනුව උදෑසන හයවනවිට විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් ආරම්භ කර පසුව විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේ යන්ත්‍රය පැය භාගයකට ආසන්න කාලයක් ක්‍රියාවිරහිත කර තබන්නට උපදෙස් දුනි. ඉන්පසුව, නැවත දෙකේ හෝරාවට වැඩ කටයුතු ආරම්භ කර අලුත් වැඩමුරයක් පටන් ගන්නා ලෙස අපි ඔවුන්ට උපදෙස් දුන්නෙමු.
මෙහි සේවය කරන්නට ප්‍රමාණවත් පිරිස් බලයක් නොමැති බව කී විට අලුතින් පනහක සේවක පිරිසක් ආගමන විගමන කාර්යාලයට අනුයුක්ත කර වඩාත් කාර්යක්ෂම සහ වේගවත් සේවාවක් දීමට සැලසුවෙමු. අනෙක් අතට කොළඹට එන පිරිස අඩු කරන්නට අනෙක් පළාත්වලත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන ආයතන පිහිටුවිය. එයින් සේවාලාභීන්ගේ කාලයත් මුදලුත් ඉතිරි කරන්නට අපට හැකිවිය.
සාමාන්‍යයෙන් රජයේ ආයතනයක වැඩි වශයෙන්ම වියදම් වන්නේ ඒ ආයතනයේ වැඩකටයුතු කරන්නට මිලදී ගන්නා ලිපිලේඛනවලටය. අද වනවිට සුදු කඩදාසියක අකුරු ටයිප් කර මුද්‍රණය කරන්නට එක කොළයක් සඳහා අවම වශයෙන් රුපියල් පහළොවක්වත් වැය වන්නේය. මේ සියල්ල සඳහාම වියදම් වන්නේ ඩොලර් බැවිනි. ඊට හේතුව කඩදාසි ගෙන්වන්නේ විදේශයන්ගෙන් වන නිසාය.
කෙසේ වෙතත්, මේ පාඩුව අපට එකවර අඩුකර ගන්නට ලැබෙන්නේ නැත. ඒ නිසා මුලින්ම සියයට පනහකින්වත් ලිපිලේඛන සඳහා යන වියදම අවම කර ගන්න හැකි වන්නේය. දැනටමත් රජයේ ප්‍රකාශන සියල්ලම e books ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේය. ඊට අමතරව වියදම් අධික කොළ භාවිතයෙන් බැහැර වී විද්‍යුත් තැපෑල ආදී සුහුරු තාක්ෂණයන්ට හුවමාරු වීමත් වටී. ඒ නිසා දැන් මුද්‍රණය කරන්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි.
අනෙක් කරුණ නම් රාජ්‍ය ආයතනවල පවත්වන සියලුම රැස්වීම් මාර්ගගත තාක්ෂණය අනුව කිරීමට අපි පියවර ගනිමින් සිටිමු. අත්‍යවශ්‍ය කරණයකට හැර අනෙක් සියලුම රැස්වීම් අපට මාර්ගගත තාක්ෂණයෙන් කරගත හැකිය. ඒ නිසා පුළුවන් තරම් මාර්ගගත තාක්ෂණය දිරිගැන්විය යුතුය. එයින් රැස්වීම් පවත්වන්නට යන කාලය, විදුලිය, කෑම බිම් සඳහා යන වියදම අඩුකර ගත හැකිවන්නේය.
මේ අතර අපේ නිවසක විදුලි බිල අපේ ආදායමට දරන්නට බැරිනම් අප කරන්නේ විදුලි බිල අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. එහිදී, නිවසේ වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම, විකල්ප බලශක්තියකට හුවමාරු වීම, නිවසේ වැඩිපුර දැල්වෙන විදුලි පහන් නිවා දැමීම ආදිය කරන්නේය. ඒ ආකාරයට රාජ්‍ය සේවයේ ආදායම වැඩි නොවී වියදම වැඩි වන්නේ නම් අපට එලෙස විසඳුම්වලට යෑමට සිදුවන්නේය.
අපේ රාජ්‍ය සේවකයන්ටත් තමාගේ ආයතනය ගැන ආදරයක් තිබිය යුතුය. වියදම් අඩු කිරීමට ඔවුන්ටත් බොහෝ දේ කළ හැකිය. තමන් උදෙන්ම සිය රාජකාරි ස්ථානයට පැමිණෙන විට පිටත ආලෝකය ඇත්නම් සිය කාමරයේ විදුලි පහන් නිවා දමා ස්වාභාවික ආලෝකයෙන් වැඩ කටයුතු කළ හැකිය. අමතරව දැල්වෙන විදුලි පහන් සහ විදුලි පංකා නිවාදැමිය හැකිය. දැඩි රස්නයක් නොමැති අවස්ථාවලට වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන්නට පුළුවනි. එවිට එක්වරම විශාල වශයෙන් නොව ටිකෙන් ටික සුළු වශයෙන් රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට හැකිවන්නේය.
අනිත් කරණාව නම් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කටයුතු කරන කාලවලදී සිටින නිවෙස් වල ජල බිල්පත සේම විදුලි බිල්පතත් ගෙවන්නේ රජයේ වියදමිනි. එසේ වුවත් මේවා රජයේ සම්පත් සේ සිතා සැලකිලිමත්ව භාවිත කිරීම වටින්නේය. ඒ අප සැප විඳින සෑම දෙයකටම වියදම් කරන්නේ රටේ මහජනතාවගෙන් ගන්නා බදු මුදලින් නිසාය. මක්නිසාද යත් මේ අර්බුදය හමුවේ අපට වෙනදා සිටි ආකාරයට සැපසේ සිටිය නොහැක.
වෙනදා අප සමහර ආගමික උත්සව, සංස්කෘතික කාරණාවලදී ඒ සඳහා මධ්‍යම රජයත්, නගර සභාවත්, පළාත් සභාවත් යන පාර්ශ්ව තුනම වෙන වෙනම වියදම් කරනු ලබයි. ඒත් රටේ ඇති අර්බුදය ගැන සැලකිල්ලට ගෙන මේවාට දරන වියදම් අවම කරන්නට සිදුවේ. එත් සමහර අවස්ථාවන් හි රජය විසින් රැකබලා ගන්නා අතහැරිය නොහැකි පිරිසක් ද සිටිති. ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආදායම් අහිමි පුද්ගලයන්, අබාධිත දරුවන් අපට රැකබලා ගන්නට සිදුවන්නේය. .
ඊළඟට රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ගත්විට තවත් යම්කිසි සේවකයන් පිරිසක් බඳවා ගැනීමට අපට සිදුවේ. එයට හේතුව වන්නේ රාජ්‍ය සේවය තුළ අත්‍යවශ්‍ය සේවාවත් කැටි වී ඇති නිසාය. එනම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂක අංශ වැනි මානව සම්පත් අපිට වැඩි කරන්නට සිදුවේ. ඒත් රාජ්‍යයට දරන්නට බැරි වන මට්ටමකට රාජ්‍ය සේවක සංඛ්‍යාව වැඩිවුණේ පුරප්පාඩු නොමැතිව ගත් අය නිසාය. විවිධ රජයන් පත්වනවිට ඔවුන්ගේ ප්‍රතිපත්ති මත යම්යම් ආකාරයට සේවකයන් බඳවා ගනු ලබන්නේය. එසේ බඳවා ගත් පිරිස් සංස්ථා සහ මණ්ඩල හෝ ඕනෑ තරම් ඇත්තේය.
සමහර රාජ්‍ය ආයතන රාජ්‍ය සේවා ලෙස පවත්වාගෙන යනවාට වඩා එහි සේවකයන් ගෙදර යවා ඔවුන්ට මාසේ වියදමට යම්කිසි ප්‍රමාණයක් දී නිවසේ තබා ගැනීම රැකියාවට ඒමට වඩා රජයට ලාබය. සමහර සංස්ථා රජය මගින් පවත්වා ගෙන යාමට වඩා පෞද්ගලික ආයතනයකට දී වඩාත් වැඩි පලදායි ප්‍රයෝජනයක් ගත හැකිය.
එහෙයින් සියලු දෙනාම මේ රට මගේය යන හැඟීමෙන් කටයුතු කරන්නේ නම් ඉදිරියේදී අඬන රටක් නොව සියලුදෙනාම හිනැහෙන රටක් බලන්නට හැකිවන්නේය. ඒ වගේම අපේ රටේ පොදු මහජනතාව අඩු වැඩි වශයෙන් තමන්ට හැකි පමණින් කැපවීම් කළේය. රාජ්‍ය සේවකයන් වන අපටත් මේ රට ගොඩනගන්නට එසේ කැපකිරීම් කිරීමට ඉදිරියේදී සිදුවන්නේය.
Aruna