Tuesday, November 19, 2024
Follow Us
වැඩි මිලට බිත්තර අලෙවි කරන පුද්ගලයින්ට අද සිට නඩු

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

ඉකුත් 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි බිත්තරයක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 43 ක්. රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙසයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් නියම කර ඇති සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළදාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව, පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන ස්ථාන සොයා ඊයේ දිනයේ සිටම වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

ඊයේ දිනයේ සිදු කළේ වැඩි මිලට බිත්තර අළෙවි කළ පුද්ගලයින්ට අවවාද කිරීමයි. අද සිට වැඩි මිලට බිත්තර අළෙවි කරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෙසේ වෙතත් රජය නියම කර ඇති පාලන මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් සදහන් කළා.
එකවර බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමෙන් සිදුවන්නේ සිය කර්මාන්තය කඩා වැටීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාලන මිලක් නිකුත් කිරීමට පෙර බිත්තරයක් වෙළඳ පොලේ අලෙවි වුණේ රුපියල් 60ත් 65ත් අතර මුදලකටයි.

Neth