Tuesday, November 19, 2024
Follow Us
රට රැකියාවට යන්න රාජ්‍ය සේවකයන් ලක්ෂයක් ලියාපදිංචි වෙලා

තමන්ට රැකියාවක් සොයා ගත හැකි සේවකයන්ටත් අවසර


විදෙස් රැකියාවලට යාම සඳහා රාජ්‍ය සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටිති.

එලෙස ලියාපදිංචි වන්නන්ට රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස විදෙස් රටවල තානාපති කාර්යාලවලට ද මේ වන විට දැනුම් දී තිබේ.

එමෙන්ම ඔවුන් ලියාපදිංචි වී සිටින වෙබ් අඩවිය මේ වන විට විදේශ රැකියා නියෝජිතායතන වෙත විවෘත කර තිබේ. එලෙස විවෘත කර ඇත්තේ නියෝජිතායතන වෙත ලැබෙන රැකියා අවස්ථා සඳහා රාජ්‍ය සේවකයන් යොමු කිරීම සඳහා ය. එම අවස්ථාව ලැබෙන රාජ්‍ය සේවයකයන්ට අවශ්‍ය වන නිවාඩු කාලසීමාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබා දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

තමන්ට රැකියාවක් සොයා ගත හැකි රාජ්‍ය සේවකයන් සිටින්නේ නම් ඒ සඳහා ද අනුමැතිය ලබා දෙන බවත් හෙතෙම කීවේය.

විදෙස් රැකියාවට යන රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අනුමත කිරීමට පෙර නියමිත පරිදි බැංකු ණය මුදල් සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ලැබෙන බව තහවුරු කර ගත හැකි ක්‍රමවේදයක් මෙම මස 31 වැනිදාට පෙර සකස් කිරීමට නියමිත ය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ සකස් කරයි.

රාජ්‍ය සේවකයන් ලක්ෂ පහක් පමණ විදෙස් රැකියා සඳහා යාමට සූදානමින් සිටින නමුත් ඒ සඳහා වන විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් නොමැති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම වසර අවසානය වන විට පන්දහසක්වත් විදෙස් ගත කිරීමට අපේක්ෂා කෙරෙන නමුත් පවතින තත්ත්වය මත ඉන් අඩක්වත් විදෙස් ගත කිරීමට නොහැකි වනු ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

Aruna