ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ පිහිටුවනවා
තවදුරටත් වාද විවාද කරමින් සිටියහොත් සියල්ලන්ටම විඳවීමට සිදු වන බවත් වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් තරගකාරී අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පෙරේදා (16 වැනිදා) පැවැති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘‘දැන් අප පසුකරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාලසීමාවක්. අපි නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මම නැවතත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නෑ. මම හිතන විදිහට හදිසි නීතිය මේ සති අන්තය වන විට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
අපිට නැවත 2019 – 2020 කාලයට ආපස්සට ගමන් කරන්න බැහැ. අපි කල්පනා කළ යුතුයි. ආකල්පමය වශයෙන් වෙනස්වීමට අවශ්‍යයයි. එසේ කළහොත් මේ රටට අනාගතයක් තිබෙනවා. එසේ නොවුණහොත් අපි තවත් ලෙබනනයක් බවට පත් වෙනවා.
අද රටේ ආර්ථිකය කෙතරම් නරක තැනකද තියෙන්නේ කියලා මම ඔබට කිව යුතු නැහැ. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙක් බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරිකරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්. සංජීව් ගාර්ඩිනර් වගේ අය ගත්තොත් මේ ජනරජයට වඩා මිලියන් ගණනකින් පොහොසත්. ඒක තමයි යථාර්ථය.
දැන් අපි අසීරු කාලය පසුකරමින් ඉන්නේ. අපේ අවශ්‍යතාවන්ට ගෙවීම් කිරීම සඳහා ඩොලර් මිලියන දෙක තුන හොයාගන්න මහන්සි වුණ කාලය වාසනාවකට දැන් අපි පහුකරලා තිබෙනවා. නමුත් අපි තවම අර්බුදය ජයගෙන නැහැ. ආනයනය මත යැපෙන ආර්ථිකයක් ලෙස තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි. අපේ වෙළෙඳ ශේෂය අද තිබෙන්නේ හිතකර තත්ත්වයක නොවෙයි.
ඉතින් දැන් අපි කළ යුත්තේ කුමක්ද? අපි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවක් සඳහා අවසන් කොනේදේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම් කරලා චීන ණය ආපසු ගෙවීම සඳහා අමතර මූල්‍යාධාරයක් ලබාදීමට සූදානම් විය යුතුයි. මෙම ඉලක්ක කරා ළඝා විය හැකි ආකාරය ගැන අපි ජපානය සමග සාකච්ඡා කළා. ඉන්දියාව සමගත් අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. තවදුරටත් වාදවිවාද කළහොත් සියල්ලන්ටම විඳවීමට සිදු වෙයි.
අපි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත කර ගමු. මමත්, ඔබත් ඊට සහාය දක්වන බව මම දන්නවා. ඉන් පසුව අපි පාර්ලිමේන්තුව රජයක් බවට පත්කිරීමට උත්සාහ කරමු. ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික සභාව, අධීක්ෂණ කාරක සභාවට සහභාගීවිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි. ඒ සඳහා ඔවුන්ට තරුණ නියෝජිතයන් පස් දෙනෙකුට ආරාධනා කළ හැකියි. ඔවුන්ට කමිටු සභාපතිවරයාගේ අවසරය පරිදි පක්ෂවලින් ප්‍රශ්න කළ හැකියි. ලෝකයේ වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් තරුණ පිරිසට ආංශික කමිටුවලට සහභාගීවීමට අවස්ථාවක් ලබාදී නැහැ. අපිට මේ පාර්ලිමේන්තුව හරහා නව ක්‍රමවේදයකට අවතීරණය විය හැකියි. අපට එය තවත් පිරිසකට පැවරිය නොහැකියි. මේ අනුව නව ව්‍යවස්ථාවක් කරා යාමට අපට හැකියාවක් තිබෙනවා.
ජන වර්ග අතර ගැටලුව අප විසඳාලිය යුතුය. යුද්ධය 2009 වසරේදී අවසන් වූ බැවින් අප නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නැහැ. අපි ඩයස්පෝරාව දෙස බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මූලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීම සඳහා මෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න.
අපි දැන් හතරවැනි කර්මාන්ත විප්ලවයකට සූදානම් විය යුතුයි. මුදල් ඉපැයිය හැකි මාර්ග පිළිබඳ සොයා ගැනීමට අපිට එය භාවිත කළ හැකියි. නමුත් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රාජ්‍ය අංශය බිඳ වැටෙන විට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපට මුදල් තිබිය යුතුයි.’’
Aruna