Tuesday, November 19, 2024
Follow Us
රාජ්‍ය නිලධාරින් 27කට කෝටි 12ක වන්දි

පොහොට්ටුවේ මන්ත්‍රීන්ගෙන් අගමැතිට බලපෑම්


යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියමින් රාජ්‍ය නිලධාරීන් විසි හත්දෙනකුට වන්දි වශයෙන් රුපියල් කෝටි දොළහක් ගෙවීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් අගමැති කාර්යාලය මගින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් මැයි මස නවවැනිදාට පෙර මෙම පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය විසින් මෙම ලේඛනය හා මුදල ඇස්තමේන්තුගත කර තිබේ.

වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන එම ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට ගිය විට යළි මෙම ලේඛනය භාරදී ඇත. මෙම වන්දි ලේඛනය අගමැති කාර්යාලය මගින් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට සූදානම් වුවද අගමැති කාර්යාල නිලධාරීන් ඊට විරෝධය පළකර තිබේ. එහෙත් කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වෙයි. එක් නිලධාරියකුට රුපියල් ලක්ෂ හතේ සිට ලක්ෂ දෙසිය පනහ දක්වා මුදලක් හිමිවීමට නියමිතය. තවත් රාජ්‍ය නිලධාරීන් එකොළොස් දෙනකු සඳහා වන්දි ලබාදීම මේ වනවිට ප්‍රතික්ෂේප කර ඇත. ඒ ඔවුන්ට එරෙහිව පවතින නඩු අවසන්ව නොමැති බැවිනි.

වන්දි ලැබීමට නියමිත නිලධාරීන් අතර හිටපු ජනාධිපති ලේකම්වරුන් වන ලලිත් වීරතුංග හා ගාමිණී සෙනරත් සිටීමද විශේෂත්වයකි. මෙලෙස වන්දි ගෙවන නිලධාරීන් හා එම මුදල පහත දැක්වෙයි.

– හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග (රුපියල් ලක්ෂ 150)

– හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් (රුපියල් ලක්ෂ 240)

– ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ (රුපියල් ලක්ෂ 24)

– විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට (රුපියල් ලක්ෂ 140)

– මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ (රුපියල් ලක්ෂ 60)

– ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න (රුපියල් ලක්ෂ 59)

– දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක (රුපියල් ලක්ෂ 48)

– හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ (රුපියල් ලක්ෂ 42) යන අයගේ නම් යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මෙම වන්දි මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

Aruna