Tuesday, November 19, 2024
Follow Us
රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් තීරණය

සතියේ දින 5ම සේවයට කැඳවීමට රජයේ අවධානය


රාජ්‍ය සේවකයින් සතියේ දින 5 ම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබුණි.

කෙසේවෙතත් රට තුළ ඉන්ධන අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වී පොදු සේවාවන් ක්‍රියාත්මක වන බැවින් මහජනතාව රජයේ කාර්යාල වෙත සේවාවන් ලබාගැනීම සඳහා සතියේ වැඩ කරන සෑම දිනකම සාමාන්‍ය පරිදි පැමිණෙන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවය වාර්තා වේ.

රට තුළ උද්ගත වූ ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව රට තුළ පවතින තත්ත්වය සලකාබලා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් දැනටමත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජකාරී අවශ්‍යතා සලකා බලා සතියේ දින පහම නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වුණි.

Aruna