Tuesday, November 19, 2024
Follow Us
හදා ගන්න දරුවන් ඉල්ලා පන්දහසක් පෝලිමේ

පරිවාස දෙපාර්තමේන්තුව මව්වරුන්ගෙන් කළ ඉල්ලීම


දරුවන් හදා ගැනීමට ඉල්ලා දේශීය ඉල්ලුම්කරුවන් පන්දහසක් (5000) පොරොත්තු ලේඛනවල සිටින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි, නිර්මලී පෙරේරා සඳහන් කළේ වසර පහකට වැඩි කාලයක සිට මෙම පිරිස පොරොත්තු ලේඛනවල සිටින බවය.

පළාත් සභා මට්ටමෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බවත් දරුවන් හදා වඩා ගැනීමට වැඩි වශයෙන් ඉල්ලීම් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව දහසකට වැඩි බවද ඇය සඳහන් කළාය.

කෙසේ වුවද මේ වන විට ලැබෙන ඉල්ලීම්වලට දරුවන් ලබාදීමට නොහැකි බවද ඇය පැවසුවාය.

කුල වද්දා ගැනීමේ ආඥා පනත යටතේ දරුවන් හදා වඩා ගැනීමට ලබා දිය හැකි බවත් අවිවාහක මවකට දරුවකු ලැබුණහොත් හෝ දරුවන් ලැබුණු පසු ඔවුන් හදා වඩා ගැනීමට නොහැකි දෙමව්පියන්ට එම දරුවන් පරිවාස දෙපාර්තමේන්තුවට භාරදීමට හැකියාව පවතියි. එම නිසා දරුවන් ලැබුණු පසු එම දරුවන් හදාවඩා ගැනීමට නොහැකි නම් ඔවුන්ගේ ජීවිත අහිමි නොකරන ලෙසද පරිවාස දෙපාර්තමේන්තුව මව්වරුන්ගෙන් ඉල්ලා සිටියි.

Aruna