යුද්ධයේ දී පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ සියලුම රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුපට අමතරව ලද වැටුපෙන් සියයට 75ක් ලබාදීමට රජය කටයුතු සම්පාදනය කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.
රණවිරුවන්ගේ දුක්ගැනවිල්ල සාධාරණ බවත් ඊට ඇහුම්කම් දීමට රජය කටයුතු කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ආබාධිත රණවිරුවන්ගේ දුක් ගැනවිල්ලට ධනාත්මක ප්‍රතිචාරයක් ආණ්ඩුව මඟින් ලබාදෙන බවට අවබෝධ කරගෙන ඇති විපක්ෂය එහි වාසිය ලබාගැනීම සඳහා අහිංසක රණවිරුවන් පාරට ඇද දමා ඇති බවත් පෙන්වා දුන්නේය.
විපක්ෂය රණවිරුවන් ගැන සිතීමට පෙර ආණ්ඩුව රණවිරුවන් ගැන ක්‍රියාකර ඇති බව පැවසූ මංගල සමරවීර මහතා ආබාධිත රණවිරුවන්ගේ දුක් ගැනවිල්ල තමන් සැලකිල්ලට ගනු ලැබුවේ මීට මාස පකහමාරකට පමණ පෙර බව සඳහන් කළේය.
රණවිරුවන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කර පඩියෙන් සියයට 75ක් ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසීය. නිසි විසඳුමක් ලබාදීමට කටයුතු යොදා තිබිය දී පටු දේශපාලන අරමුණු කර පින්නාගෙන පාරට බැස්ස ඔවුන් සමඟ තමන් කිසිසේත් සාකච්ඡා කිරීමට සූදානම් නැති බවත් අවශ්‍ය විසඳුම ලබාදෙන බවත් පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසත් ඔවුන් හමුවී සිදුවීමට හැකි විනාශයක් වළක්වන ලෙසත් අමරවීර මහතා මෙහිදී මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
විපක්ෂය ආබාධිත රණවිරුවන් ගැන සිතන්න කලින් අපි ඒ අය ගැන හිතලා තිබෙනවා. මීට මාස එකහමාරකට කලින් ඔවුන් ඇවිත් මා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි ඔවුන්ගේ ප්රශ්නය විමසුවා. ඔවුන්ට ඇහුම්කම් දුන්නා. ඔවුන්ට තිබෙන්නේ සාධාරණ දුක්ගැනවිල්ලක්. රජය මෙතෙක් සලකා බලා තිබුණේ පූර්ණ ආබාධිත රණවිරුවන් ගැන පමණයි. එහෙත් අර්ථ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් ද විශාල දුක් ගොඩක ඉන්නේ. සමහරුන්ගේ බුලට් කෑලි ඇඟ ඇතුලේ. නමුත් ඔවුන් බැලූ බැල්මට ආබාධිතයන් නොවෙයි. ඔවුන්ට රැකියාවක් කරගන්න බැහැ. ජීවිත කාලයම ඖෂධ ලබාගන්න රණවිරුවන් ඉන්නවා. ඔවුන්ට තනියෙන් ජීවත් වෙන්න බැහැ.
තව කෙනෙකුගේ සහාය ගන්න වෙනවා. එයටත් මුදල් වැය වෙනවා. ඔවුන්ගේ ජීවිත කාලය කෙටියි. මේ දුක් ගැනවිල්ල අහපු මම එදිනම ලේකම් ආචාර්ය සමරතුංග මහතාට කතාකර යෝජනාවලියක් ඉදිරිපත් කළා. මොවුන් ලබන විශ්‍රාම වැටුපට අමතරව ලබාගත් වැටුපෙන් සියයට 75ක් ජීවිත කාලයටම ලබාදෙන්න යෝජනාවක් ඉදිරිපත් කළා.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එ.ජ.නි.ස)- ආබාධිත රණවිරුවන් අව් වැසි නොබලා කොටුම දුම්රියපොල ඉදිරිපිට දින ගණනක් රැදී ඉන්නවා. මුදල් ඇමැතිවරයා ලෙස ඔබ තුමා හෝ නියොජිතයෙක් එතැනට ගිහින් මේ විසඳුම ගැන ඔවුන්ට කියන්න. නැතිනම් ලොක් විනාශයක් වෙන්න පුළුවන්.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා- පාරට බැස්ස අය සමඟ මම කතා කරන්න සූදානම් නැහැ. අරගලවලින් පාරට බැහැලා මේ ප්රශ්නය විසඳන්න බැහැ. සාකච්ඡා මඟින් මේක විසඳන්න ඕනේ. ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් රණවිරුවන්ට ලබාදෙන්න යනකොට රණවිරුවන්ට විසඳුම් ලබාදුන්නේ අපි කියලා ලකුණු දා ගන්න කට්ටියක් දඟලනවා. අපේ බලතිරීම් නිසා තමයි විසඳුම් ලැබුණේ කියලා ඔවුන් පෙන්වන්න උත්සාහ කරනවා යැයි පැවසීය.
(Dinamina)