Wednesday, November 20, 2024
Follow Us
වැඩි මිලට තෙල් විකුණන ජාවාරම වටලන්න නියෝගයක්

දරුවන් පාසල් ගෙන එන්න ජනපති වැඩපිළිවෙළක් හදයි


දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇත.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කල බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ.

එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් දී ඇත.

ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇත.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී තිබේ

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා වි ඇති අතර ඉදිරියෙදී ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවක් සිදුව ඇත.

සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, අලී සබ්‍රි, කංචන විජේසේකර, ටිරාන් අලස්, පා.ම. නිමල් ලන්සා යන අමාත්‍යාවරුන්ද ජනාධිපති උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්වී තිබුණා.

Aruna