Saturday, January 04, 2025
Follow Us
නව අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනවා. එම පිරිස කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හිටපු අමාත්‍ය මණ්ඩලයම යළි පත්කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඒ, මාස 03 ක කාලයකටයි. භාරකාර ආණ්ඩුවක් ලෙස එම පිරිස කටයුතු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම ධූරය පුරප්පාඩු වුණා.

එම ධූරය සඳහා තැනැත්තෙකු තෝරාගන්නා තෙක් එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වුණා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබාගත් බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වූ අතර අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩුවීම හේතුවෙන් පැවති අමාත්‍ය මණ්ඩලය ද අහෝසි වුණා. ඒ අනුවයි අද දිනයේ අග්‍රාමාත්‍ය ධූරය සහ අමාත්‍ය මණ්ඩලය පත් කෙරෙන්නේ.

Neth