Wednesday, November 20, 2024
Follow Us
අද සිට ඉන්ධන දෙන්න දැඩි කොන්දේසි

අද සිට ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංක ක්‍රමයට අනුව පමණක් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඩබ්ලිව් එස් එස් ප්‍රනාන්දු පැවසුවේ අදාළ දිනයට අයත් නොවන අංක සහිත වාහන සදහා ඉන්ධන නිකුත් නොකරන බැවින් එවැනි වාහන රැගෙන පෝලිම්වල රැදි නොසිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේ සිටයි. එහෙත් දින ගණනාවක් පෝලිම්වල රැදී සිටි ජනතාව කළ ඉල්ලීම්වලට අනුව එම ක්‍රමවේදයට ඉන්ධන බෙදාහැරුණේ නැහැ. ඒ, දින කිහිපයක සිට පෝලිම්වල රැඳී සිටි ඇතැම් ජනතාවට සිය වාහනය යළි රැගෙන යාමට පවා ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. ඒ අනුව බොහෝ පිරවුම්හල්වලින් ඊයේ දිනයේ එම ජනතාවට ද ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබුණා.

වාහන අංක තහඩුවේ අවසාන අංක ක්‍රමයට අනුව සඳුදා, බදාදා සහ අද ඉන්ධන නිකුත් කෙරෙන්නේ 6,7,8,9 යන අංකවලට පමණයි. 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල ඉන්ධන ලබාදීමට නියමිතයි. 3,4,5 යන අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා ඉන්ධන ලබා දෙනවා.

මෙහිදී යතුරුපැදි සඳහා රුපියල් 1,500 ක් ද, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 2,000 ක්ද, සෙසු වාහන සඳහා රුපියල් 7,000 ක්ද වශයෙන් ඉන්ධන ලබාදීම සිදුවනු ඇති.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය ද ඊයේ සිට කොළඹ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මකයි. QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

Neth