‘රජයෙන් නිවාඩු දුන්නත් ළමයින් එනවා නම් අපි උගන්වනවා’
පාසල් සඳහා රජය නිවාඩු ලබාදුන්න ද දරුවන් පැමිණෙන්නේ නම් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තමන් සුදානම් යැයි ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මෙසේ ද පැවසීය.
විවිධ හේතු මත පසුගිය කාලය පුරා විටින් විට පාසල් වසා දැමුවා. පාසල් වසා දැමීමෙන් පාඩුව සිදුවන්නේ දරුවන්ටයි. මේ නිසා ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීම ද කල් දැමීමට සිදු වුණා. එමෙන්ම එම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ද දින ගණන් නොව මාස ගණනින් කල් යන තත්ත්වයක් පැහැදිලිවම දක්නට තිබෙනවා. මේ සියල්ලේ පාඩුව සිදු වන්නේ දරුවන්ට බව අපි අමතක නොකළ යුතුයි.
රජය කියා සිටියත් පාසල් වහන්න කියලා අපි සුදානම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. පාසල් ආසන්නයේ, එමෙන්ම කුමන හෝ ආකාරයේ ප්‍රවාහන පහසුකමක් සම්පාදනය කර ගත හැකි ගුරුවරු බහුතරයක් කැමැතියි පාසලට ඇවිත් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා පවත්වා ගෙන යා හැකි සියලුම පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස. එමෙන්ම කිසියම් දරුවකුට තමන් අධ්‍යාපනය ලබන පාසලට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි නම් ඒ දරුවාට අවස්ථාව දෙන්න ළඟම තියෙන පාසලට ගිහිං අධ්‍යාපනය ලබා ගන්න.
කුමන ආකාරයට හෝ අපිට අවශ්‍ය වන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නයි. විවිධ හේතු දක්වමින් පාසල් වසා දමමින් කරන ක්‍රියාවලියේ ප්‍රථිඵල ලැබෙන්නේ තවත් අවුරුදු කීපයකින්. රට කරවන නිලධාරීන් තමා වර්තමානයේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින්නේ. අපි ඒ බව අමතක නොකළ යුතුයි. ඒ නිසා කිසිදු දරුවකුගේ අධ්‍යාපනය කඩා වැටෙනවාට අපි විරුද්ධයි. අපි කියන්නේ පවත්වා ගෙන යා හැකි සියලුම පාසල් විවෘත කරන්න විදුහල්පතිවරුන්ට අවසර ලබා දෙන ලෙසයි.
Aruna