කිසියම් හෝ පිහිටක් නොමැතිව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින කලාකරුවන් සඳහා රුපියල් පන්දහසක දීමනාවක් මාසිකව ලබාදීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවැසීය.
ප්‍රථම පියවර යටතේ කලාකරුවන් දෙසීයයකට මේ දීමනාව ලබාදෙන බව පැවැසූ ඇමැතිවරයා අදාළ කලාකරුවන් තෝරා ගැනීමට අමාත්‍යාංශයේ නිලධාරියකුගේ සහභාගීත්වයෙන් කලා සංගම් නියෝජනය කරනු ලබන කලාකරුවන් හත්දෙනකුගෙන් හෙබි කමිටුවක් පෙරේදා (5) පත් කළේය.
මේ දීමනාව ගෙවනු ලබන්නේ කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා රජයෙන් ලබා දී තිබෙන රුපියල් මිලියන අනූ හතරක මුදල බැංකුවක ස්ථාවර තැන්පතුවක තැන්පත් කර ඉන් ලැබෙන පොලියෙන්ය. මේ තැන්පතුව තවත් ශක්තිමත් කර ගැනීමට අරමුදල් සපයා ගැනීමේ ප්‍රසංග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට මෙහිදී කලාකරුවන් තීරණය කරමින් ඒ බව ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
ඇමැති දයා ගමගේ මහතා මේ අදහස් දැක්වූයේ පෙරේදා (5) සවස එම අමාත්‍යාංශයේ දී කලාකරු සංවිධාන සමඟ පැවැත් වූ සාකච්ඡාවේදීය. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමල් කොටවලගෙදර, ඇමැතිවරයාගේ උපදේශක එච්. එම්. ගුණසේකර, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති දේවක වීරසිංහ මහත්වරු සහභාගි වූහ.
(Dinamina)