Sunday, September 08, 2024
Follow Us
ගම්පෙරළියෙන් ඡන්ද කොට්ඨාසයකට මිලියන 100ක අමතර මුදල ගමේ සංවර්ධනයටයි

ගම්පෙරළිය වැඩසටහන හරහා සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන සියය බැඟින් අතිරේක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙන්නේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නොව ඒ ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

රජය මේ මුදල ලබාදෙන්නේ ගමේ පොදු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට බව පෙන්වාදෙන ඒ මහතා සෑම මැතිවරණ කොට්ඨාසයකටම දේශපාලන පක්ෂ, පාට භේදයක් නොමැතිව පොදුවේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මේ මුදල ලබාදෙන බවද මෙරට ඉතිහාසයේ වැඩිම ණය සහ පොළී වාරිකයක් මේ සැප්තැම්බර් මාසයේ දී ගෙවීමට සිදුව තිබෙන නමුත් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවැනි මුදලක් වෙන්කිරීම සම්බන්ධයෙන් සතුටු වියයුතු බවද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ දී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ගම්පෙරළිය වැඩසටහන යටතේ තවත් රුපියල් මිලියන 100ක මුදලක් සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබාදීමට රජය තීරණය කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විරෝධය දක්වා තිබෙන බවත් ය.

ගම් මට්ටමේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැඩිම මුදලක් වාර්ෂිකව ලබාදී තිබෙන්නේ වත්මන් රජය බව පෙන්වාදෙන ඒ මහතා 2015 වසරේ අඛණ්ඩව මේ දක්වා විශාල මුදලක් සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම ලැබෙන ආකාරයෙන් ආයෝජනය කර තිබෙන බවද මාර්ග, විදුලිය, ආගමික ස්ථාන, සෞඛ්‍ය, කෘෂිකර්මය, ජල ආදී සෑම අංශයකම සංවර්ධන කටයුතු සඳහා 2019 වසරේ අද වනවිට සෑම මැතිවරණ කොට්ඨාශයකටම රුපියල් මිලියන 300 බැඟින් වැයකර තිබෙන බවද පැවසීය.

අවුරුද්දේ මාස නවයක කාලයේ දී එක් මැතිවරණ කොට්ඨාශයක් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වැයකර තිබීම හේතුවෙන් රජය තවත් රුපියල් මිලියන 100ක මුදලක් එම සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබාදීමට තීරණය කළ බවද පසුගිය වසරේ දින 52 කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා කළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය සළකා බලා ජනතාවගේ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටියත් නොසිටියත් ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ මුදල වෙන්කිරීමට තීරණය කළ බව පෙන්වාදුන් ඇමැතිවරයා සෑම මැතිවරණ කොට්ඨාසයකටම දේශපාලන පක්ෂ, පාට භේදයක් නොමැතිව පොදුවේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්න තවත් රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කරන බවද සදහන් කළේය.

(Dinamina)