Thursday, April 25, 2024
Follow Us
තමන්ට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීම බව ජනපති කියයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත්, නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලන න්‍යාය පත්‍රවලට හසුනොවී හොද නරක විමසා තීරණ ගෙන අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ. උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලුවා. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි වගාකර තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරයද එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය මගින ්මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරෙනවා.

අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් එහි සාර්ථකව පවත්වාගෙන යන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

(Neth)