Wednesday, May 01, 2024
Follow Us
පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 රජය මගින් මිලදි ගැනීමට සැලසුම්

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 රජය මගින් මිලදි ගැනීමට සැලසුම් පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.

වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

වී සදහා ඒකාධිකාරය නැති කිරීම සහ වී මිල පාලන මිලක් යටතේ පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම පියවර ගනු ලබන බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය. ඔහු මේ බව පැවසූවේ
පසුගිය 24 වන දින දින කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය.

 

උපදේශක කාරක සභාවට සහභාගි වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොවිතැන් කටයුතු කිරීමේදි ප්‍රවාහන වැනි අතරමැදි අවස්ථාවන්ගෙන් මෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා අස්වැන්නෙන් වැඩි කොටසක් විනාශ වීම සිදුවන බවත් මේ හේතුව නිසා යම් ප්‍රදේශවල ගොවියන් ගොවි කටයුතු සිදු කිරීම සඳහා මැලිකමක් දක්වන බව කාරක සභාවේ අවධානයට යොමු කරන ලදි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍ය අළුත්ගමගේ මහතා එම ගැටලුව සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පවත්වන බවත්, විද්‍යාත්මත ප්‍රවේශයකින් කඩිනමින් ඊට ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිත බවත් දැන්වීය.

ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වලදි වැඩි වශයෙන් රසායනික පොහොර භාවිතා කිරීම සිදු කරනු ලබන අතර, එමගින් සෞඛ්‍ය සහ පරිසර හානි රැසක් සිදුවන බව අනාවරණය වී තිබේ. මෙම තත්වය
අවම කිරීම සඳහා ශ්‍රි ලංකාවේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් සඳහාම පස් පරික්ෂා කිරිමේ කට්ටල ලබා දී අදාළ ප්‍රදේශයේ පසෙහි තත්වයට අනුව ගැලපෙන පරිදි පමණක් පෙ‍ාහොර නිකුත් කිරීම සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි අවධාරණය කළේය.

 

එමෙන්ම ගොවි කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම යාන්ත්‍රික අංශයක් ස්ථාපිත කරනු ලබන අතර, ඒ සඳහා බැකෝ යන්ත්‍ර, ට්‍රැක්ටර්,ගොයම් කැපීමේ උපකරණ ආදියද ,
ගොවීන්ට අදාළ උපකරණ භාවිතා කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

කෘෂිකාර්මික තොරතුරු අන්තර්ගත කරමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දත්ත පද්ධතියක් සකස් කිරීම සිදු කරනු ලබන අතර, එමගින් විවිධ දේශගුණික හා පාරිසරික තත්වයන්ට අනුව පළාත් හා දිස්ත්‍රික්ක
මට්ටමින් භෝග වගා කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළ අතර, එම දත්ත පද්ධතිය මගින් වගා කටයුතු පහසු කර ගැනීමට අදාළ සියලු තොරතුරු
පිළිබඳව ප්‍රාදේශිය නිලධාරින් මගින් ගොවියන්ව යාවත්කාලීන කිරීම සිදු කරනු ලබන බවද සඳහන් කරන ලදි.

කුඹුරු ඉඩම් ගොඩකර ඉදිකිරීම් සිදු කිරීම, ආර්ථික මධ්‍යස්ථාන අලුත්වැඩියාව, ගොවිජන සේවා මධ්‍යස්ථාන අලුත්වැඩියාව, අවශ්‍ය පරිදි නව බඳවා ගැනීම් සිදු කිරීම මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් පොහොර බෙදා හැරීම සිදු කිරීම ආදිය පිළිබඳවද මෙහිදි කරුණු සාකච්ඡාවට ලක් විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්,ගොවිජන සේවා කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවට එක්විය.

(news.lk)