Wednesday, September 17, 2025
Follow Us
ලබන සතියේ සිට '20ට' විය හැකි දේ පාර්ලිමේන්තුවෙන්ම පැහැදිලි කරයි

20 වන සංශෝධනය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීමටයි. එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේදී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා.

නමුත් කිසියම් පාර්ශවක් අදාල කාලය තුල 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි.

මෙම කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ.

දින 21 ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනකදී ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20 වන සංශෝධනය 2 වන කියවීමේ විවාදය සඳහා ගත හැකි වනවා. 2 වන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ.

ඉන්පසු කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකින් එක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද එහිදී අවස්ථාව පවතිනවා.

ඉන්පසු උදා වන්නේ පනත් කෙටුම්පත 3 වන වර කියවීමයි. 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී ද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වනවා. එවිට එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි සම්මත වූ බවට සැලකෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ. අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇති.

කෙසේ වෙතත්, සම්පූර්ණ සංශෝධනය හෝ එක් වගන්තියක් හෝ වැඩි ගණනක් හෝ සම්මත කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට නිගමනය කිරීමටද ඉඩ පවතිනවා. එසේ වුවහොත් ජනමත විචාරණයක් ද පැවැත්වීමට ඉඩකඩ ඇති අතර එසේ නොමැතිනම් අදාල වගන්ති අතහැර දමා හෝ ඉතිරි වගන්ති සමඟ ඉදිරි කටයුතු සිදු කළ හැකි බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

යම් ආකාරයකින් ජනමත විචාරණයක් පවත්වා එය සම්මත වුවහොත් අවසාන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ කථානායකවරයා නොව ජනාධිපතිවරයායි. එය ඉතා දුර්ලභ අවස්ථාවක් බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)