Wednesday, September 17, 2025
Follow Us
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණ කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද 2020.09.17 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.


''අනාගතයට අධි පිම්මක් '' (Hyper leap to the future) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය සඳහා එක්වුණු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.
මෙහිදී සමරු සටහනක් තැබූ ගරු අග්‍රාමාත්‍යතුමා කොළඹ කොටස් වෙළඳපොළ හඳුන්වා දුන් නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරියේය.
ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින් ට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ.
ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව (CSE) ජංගම දුරකථන යෙදුම හරහා දිවයින පුරා විසිරී සිටින ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ හෝ තැරව්කාර ආයතනවලට යාමකින් තොරව ගිණුම් ආරම්භ කිරීමේ පහසුව සලසා දී තිබේ. එමඟින් නව ආයෝජකයින්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණවීම කෙරෙහි බාධාවක්ව පැවති දුරස්ථභාවයේ ගැටලු මඟහැරී යනු ඇත.
ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් කොළඹ කොටස් හුවමාරුව (CSE), SEC, CDS වෙබ් අඩවිය නව්‍යකරණයට ලක් කර තිබේ. ඒ යටතේ ආයෝජන, අධ්‍යාපන හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමට කොමිෂන් සසභාව හඳුන්වා දෙන You Tube නාලිකාවද අද දිනයේ එළි දක්වන ලදී.
කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුමෙහි නවතම සංස්කරණය ඔස්සේ ගිණුම් විවෘත කළ හැකි අතර වෙළඳ ගනුදෙනු කිරීම, ගෙවීම් පියවීම සහ සිය ගිණුම් ඕනෑම ස්ථානයක කැමති වේලාවක පහසුවෙන් නිරීක්ෂණය කිරීමට පහසුකම් ඇත.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය මඟින් අනාගතයේ දී ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වීම සිදුවේ.
මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, ලොහාන් රත්වත්තේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි සභාපති, ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න, අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහත්වරු සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල වලින් පැමිණි ජ්‍යේෂ්ඨ ආරාධිතයින්, තැරැව්කාර සමාගම් , ලැයිස්තුගත සමාගම් සහ ශ්‍රී ලංකා ව්‍යපාරික ප්‍රජාවද සහාභාගී වූහ.