Wednesday, September 17, 2025
Follow Us
අගමැති, 6 වැනි සංවත්සරය යෙදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය,
“චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමඟින් රැකියා 83000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. මහ ජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ ජාතික දින සංවත්සරය එළඹෙන ඔක්තෝම්බර් පළමු වෙනිදට යෙදෙනවා. ලබන වසරට චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරනවා.“ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ හා එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වෙනිදා ය. පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් වරාය නගර ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් ඇණ හිට තිබිණි. වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භූමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකවේ
වැඩ බලන චීන තානාපති හූ වෙයි, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියන් හෝයි ලින්ග් මහත්වරු ඇතුළු වරාය නගර ව්‍යාපෘතියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ