Sunday, January 11, 2026
Follow Us
විදෙස් කාර්යාංශයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩු

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෛනික ආදායම පහත වැටී ඇතැයි එහි කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩුක් ලබා දීමට පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇත.

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාල කීපයක් ආර්ථික අපහසුතා හේතුවෙන් වසා දැමීමටද සිදුව ඇතැයි එහි සාමාන්‍යාධිකාරීවරයා අංශ ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති ලිපියක දැක්වේ.

එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාර්ය මණ්ඩලයට අඩ වැටුප් නිවාඩු ලබා දීමට අවධානය යොමුවී ඇති බව පවසන සාමාන්‍යාධිකාරීවරයා අදාළ කාලයේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගණනය කරන්නේද ලබා දෙන අඩ වැටුපට සාපේක්ෂව බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති මෙම ලිපියට කාර්යාංශයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පළකරයි. රට පුරා කාර්යාංශයේ සේවකයන් දෙදහසකට පමණ අඩ වැටුප් නිවාඩු ලබාදීමට සූදානම් වන ඉහළ නිලධාරීන් තම ඉන්ධන දීමනා සහ දුරකථන දීමනා ඇතුළු වරප්‍රසාද කිසිදු අඩුවක් නොමැතිව බුක්ති විඳිමින් සිටින බවද පවසයි.

(Aruna)