ඉදිරි දින 30 ඇතුළත විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැසක් වෙනස් කිරීමට රජය තීරණය කර ඇත. ඊට නවදිල්ලිය, වොෂින්ටන්, චෙන්නායි, ටෝකියෝ, බීජි සහ ඔටාවා ඇතුළු ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක් ඇතුළත් වේ.
මේ අතර අවුරුදු 60 ඉක්ම වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ තානාපති කාර්යාල ප්‍රධානීන් කිහිපදෙනකුට එළැඹෙන ඔක්තෝබර් 04 වැනිදාට පෙර සේවය අවසන් කර මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය ‘අරුණ’ට තහවුරු කළාය. මාසයක කාලයක් ඇතුළත මෙලෙස නැවත මෙරටට කැඳවා ඇත්තේ නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න, කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් අශෝක ගිරිහාගම, ස්වීඩනයේ තානාපති සුදන්ත ගනේගම ආරච්චි, ඊජිප්තුවේ (කයිරෝහි) තානාපතිනි දමන්ති රාජපක්ෂ, කියුබාවේ හවානාහි ඒ.එල්. රත්නපාල හා නෙදර්ලන්තයේ සෙග්හි සුමිත් නාකන්දලය. සුමිත් නාකලන්දලගේ අවුරුදු 60 වයස පිරීම මත පදනම්ව ඔහුට මෙරටට පැමිණීම සඳහා 2020 ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය ලබාදී ඇත.
මේ අතර හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ ඇමෙරිකාවේ (වොෂින්ටන් ඩී.සී.) නව තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවත් දැනට එම තානාපති ධුරයේ කටයුතු කරන රොඩ්නි පෙරේරා නැවත අමාත්‍යාංශය වෙත කැඳවනු ඇතැයිද වාර්තා සඳහන් කරයි. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම කැනඩාවේ ඔටාවාහි නව මහ කොමසාරිස්වරිය ලෙස පත් කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන පාලිත කොහොන චීනයේ බීජිංහි තානාපති ලෙස පත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි. මේ අතර හිටපු ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ නවදිල්ලියේ නව මහකොමසාරිස්වරයා ලෙස යෝජනා වී ඇති අතර ස්වීඩනයේ හිටපු තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇති වී.කේ. විල්සන් චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් ධුරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි පැවැසේ.
(Lanka Leads)