විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති, ජනමත විචාරණයකට තුඩු දෙන වගන්තිවලට අත නොතබන බව ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (31 වැනිදා) ප්‍රකාශ කළේය.
ඒ අනුව දැනට ඇති ජනාධිපතිවරයාගේ වසර පහක ධුර කාලය වසර හය දක්වා දීර්ඝ කිරීම සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමේ සංශෝධන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවන බවද ඇමැතිවරයා කීවේය.
රටට තවත් මැතිවරණ අවශ්‍ය නැතැයිද එනිසා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධන පමණක් සිදුකර විසි වැනි සංශෝධනය ගෙන එන බවද කී ඇමැතිවරයා ධුර කාලය වසර පහේ සිට හය දක්වා දීර්ඝකර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයිද කීය.
ස්වාධීන කොමිෂන් සභා අහෝසි නොකරන බව කී ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එම කොමිෂන් සභා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන කරන බවද කියයි.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඇමැතිවරුන් පස් දෙනකුගෙන් සමන්විත කැබිනට් අනු කමිටුව විසින් අධ්‍යයනය කර හෙට පවත්වන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි කැබිනට් අනුමැතියෙන් පසුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද කියයි.
ඉන් අනතුරුව එය විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් නොවැම්බර් අය වැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(Aruna)