Sunday, September 14, 2025
Follow Us
වරාය නගර ගිවිසුම යළි වෙනස් කිරීමට තීරණය කරයි

පසුගිය යහපාලන රජය යටතේ කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් මෙරටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ වීරකැටියේ පැවති අඟුණකොළපැලැස්ස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක‍්‍රියාකාරී හමුව අමතමින්.

වරාය නගර ගිවිසුමේ යළි වෙනස්කම් කිරීම තුළින් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ගිවිසුම් වෙනස් කිරීම හේතුවෙන් වරාය නගරයෙන් අහිමි වූ ඉඩම් ප‍්‍රමාණය නැවත ලබා ගැනීමට ද දැනටමත් තම රජය කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා.

තම රජය යටතේ ක‍්‍රියාත්මක කළ සංවර්ධන ක‍්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීම ද වසර දෙකක් ඇණහිටි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ඊට අමතරව රටේ සෑම ප‍්‍රදේශයක්ම සංවර්ධනය කිරීම සඳහා එකම සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම තුළින් තරුණ - තරුණියන්ට රැකියා අවස්ථා වැඩි කොට පළාත් මට්ටමින් ආර්ථිකය ගොඩ නැගීමට ද අපේක්ෂා කෙරෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)