ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල ඊයේ (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල ජාතික මට්ටමේ සේවා සපයන රෝහලක් ලෙස සේවා කටයුතු විධිමත් කිරීමට අදාළව කරුණු සොයා බැලීම ය.
එම අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ අතරම වාට්ටු සංකීරණ ද සිය නිරීක්ෂණයට ලක් කරමින් රෝහල් පාලන අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩල සමග වර්තමානයේ උද්ගතව ඇති ගැටළු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.
මෙම සාකච්ඡාව රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, රෝහලේ මානව සම්පත් අවශ්‍යතාවය සහ භෞතික සම්පත් කළමනාකරණ කටයුතු මෙන්ම රෝහලේ කාර්ය සාධනය පිළිබඳව මෙහි දී අමාත්‍යවරයා කරුණු සොයා බලන ලදි.
මෙම රෝහල චීන සමූහාණ්ඩුවෙන් මෙරටට ලැබුණු සුවිශේෂී පරිත්‍යාගයක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියට අංග සම්පූර්ණ ව රෝහලේ කටයුතු ක්‍රියාත්මක කිරීමත්, නඩත්තු කටයුතු සිදු කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව පැවසී ය.
රෝහලේ පවතින ගැටළු සරළ නොවන බැවින් ක්ෂණික විසඳුම් ප්‍රමාණවත් නොවන බවත්, තම පළමු යෝජනාව මෙම රෝහල කවර තත්ත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා ද යන්න සහ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලත් සම්බන්ධ කරගෙන උපරිම ප්‍රයෝජනයක් ගත හැකි රෝහලක් ලෙස පවත්වා ගෙන යාම බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කිරීමට කණ්ඩායමක් පත් කළ යුතු බව ද පෙන්වා දෙන ලදි.
චීන රජයේ සහයෝගය සහිතව ඉදිරියටත් රෝහලේ නඩත්තු සඳහා මෙන්ම රෝහලට අවශ්‍ය ඖෂධ හා උපකරණ ලබාගැනීමට සාකච්ඡා පවත්වන බව ද මෙහි දී අමාත්‍යවරයා පැවසී ය.
මෙම රෝහලේ සම්පත් අපතේ නොයවා ප්‍රදේශයේ ජනතාවට ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුතු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට විධිමත් සැලස්මක් යටතේ කටයුතු කළ යුතු බවත්, එමෙන්ම රෝහලේ සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට ක්‍රියාකරණ බව ද පැවසී ය.
මෙහි දී ඖෂධ සැපයීම සම්බන්ධව විශේෂ සඳහනක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල්වල අවශ්‍යතාවයන් මත ඖෂධ හදිසි මිල දී ගැනීම සදහා මුදල් වෙන් කර ඇති බවත්, යම් ඖෂධයක් තමන්ගේ රෝහලේ නොමැති නම් හෝ වෛද්‍ය සැපයීම් අංශයෙන් සපයා නැතිනම්, සාමාන්‍ය මිලදී ගැනීමට මෙන්ම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එය ගැටළුවක් නොවන බව ද එය අල්ලස් කොමිසමේ කටයුතු සමග පටලවා නොගන්නා ලෙස ද අවධාරණය කළේ ය.
මෙහි දී ගැටළු මතුවනුයේ වෛද්‍යවරයෙක් මිල දී ගන්නා ලෙස නිර්දේශ කරන ඖෂධයක් වෙළදපල මිලට වඩා හතර පස් ගුණයකින් වැඩි මිලකට සුක්ෂම ආකාරයෙන් ලබාදීම බවද පෙන්වා දෙන ලදි. එවන් අවස්ථාවල දී අනිවාර්යයෙන්
පරීක්ෂණ සිදු කළ යුතු බව ද පැවසී ය.
මෙරට ඖෂධ සමාගමි කිහිප ගුණයක ලාභ තබාගෙන ඖෂධ අලෙවිකරණ බවත්, ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා හතර පස් ගුණයක මෙවන් ආකාරයේ ලාභ ලබා ගනිමින් ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම ඉදිරියේ දී පරීක්ෂණ සිදු කරනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පි බණ්ඩාර, බී.එමි.එස් රත්නසිරි, ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිල්කා තරණසිංහ, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥවෛද්‍ය උපුල් කරුණාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී න්, විශේෂඥවෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.