කොවිඩ් රෝගීන්ට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ආයුර්වේද රෝහල් පනහක් වෙන් කිරීමේ රජයේ තීරණයට එකඟ නොවන බව පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති චමල් ආර්. කුලතිලක ‘අරුණ’ ට ඊයේ (24 වැනිදා) පැවැසීය.
ආයුර්වේද රෝහල්වලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බවත් ඒ මහතා කීවේය.
දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවත් සමග රෝහල් ධාරිතාවේ මතුවු ගැටලු හේතුවෙන් රජය ගත් මෙම තීරණයට තමන්ගේ අකැමැත්තක් නොමැති බවත් එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නොසලකා, බටහිර වෛද්‍යවරුන්ගේ පරිපාලනය යටතේ මෙම ආයුර්වේද රෝහල් 50 තුළ කොවිඩ් නේවාසික ප්‍රතිකාර සිදු කිරීම පිළිගත නොහැකි බවත් හෙතෙම කියයි.
මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙතෙක් නෛතික අවසරය ලබාදී නැතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය දිනේෂ් විද්‍යාරත්න සඳහන් කරයි. මෙම අවසරය ලබාදීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමාද කරමින් සිටින බවත් පවසයි. මේ වන විට නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් රෝහලක් ලෙස සකස් කර අවසන් බවත් එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට හැකි වන ලෙස පුහුණු කිරීමද අවසන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.කොවිඩ් රෝගීන් තිදෙනකුට පසුගිය දිනවලදී මීගොඩ ආයුර්වේද රෝහලෙන් හමුවූ නමුත් ඔවුන් භාර ගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ක්ෂණික ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම රෝගීන් තිදෙනා සහ ආශ්‍රිතයින් පස්දෙනකු රෝහල් වාට්ටු දෙකක හුදකලා කර ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බව වෛද්‍ය විද්‍යාරත්න සඳහන් කරයි.
මෙම රෝගීන් සියලුම දෙනා සුවය ලබා සිය නිවෙස් වෙත ගිය බවත් පෙන්වා දෙන ඒ මහතා තමන්ට ලිඛිත අවසරයක් නොමැති අවස්ථාවකදී රෝගීන් භාර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ක්ෂණික ක්‍රියා මාර්ගයන් නොගැනීම මත ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමට හැකිවූ බවත් මෙහිදී ආයුර්වේද වෛද්‍ය කර්මය මගින් කොවිඩ් රෝගීන්ට කිසිදු සංකූලතාවක් ඇති නොවී සුව කළ හැකිවූ බවත් පෙන්වා දේ.
(Aruna)