Thursday, April 25, 2024
Follow Us
පී.සී.ආර්. පරීක්ෂණයක් කළ ඔබ දැන ගත යුතුම කරුණු

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ යුත්තේ කව්රුන්ද සහ පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු පුද්ගලයෙක් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ⁣ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙසේ අදහස් දැක්වුවාය.

1 ආශ්‍රිතයකුට මුණ ගැසීමෙන් දින පහකට පසු සෞඛ්‍ය අංශ දැනුවත් කොට පී.සී.ආර් පරීක්ෂණයකට පුද්ගලයකු යොමු විය යුතුය.

2 පී.සී.ආර් පරීක්ෂණය සිදු කර නිවසට පැමිණි පසු කාමරය තුළට වී දින දාහතරක් නිරෝධායනය වීම අනිවාර්ය වෙයි.

3 නිරෝධායනය වන පුද්ගලයා නිවසේ අන් අය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය.

4 වෙනම නාන කාමරයක් සහ වැසිකිළියක් භාවිත කිරීමට හැකියාව පවතී නම් එය සෞඛ්‍යාරක්ෂිතය.

5 උණ තත්ත්වයක් ඇති වේදැයි අවදානයෙන් සිටිය යුතුය.

6 දියර වර්ග වැඩිපුර පානය කළ යුතුය.

7 පී.සී.ආර් වාර්තාව පැමිණෙන තුරු රැකියාවට හෝ වෙනත් ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතුය.

8 තමා පී.සී.ආර් පරීක්ෂණයකට යොමු වූ බව කාර්යාලයට දැනුම් දිය යුතුය.

9 පී.සී.ආර් වාර්තාව එන තෙක් නිවසේ රැඳී සිටින කාලය තුළ උග්‍ර රෝග ලක්ෂණ මතුවේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

10 සැම විටම මුව ආවරණ පැලඳිය යුතු සේම සෞඛ්‍ය නීතිරීති අනුගමනය කිරීමට වග බලා ගත යුතුය.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

ඒ අනුව කොවිඩ් එන්නත් ලබා ගැනීමේදි ජනතාව මෙම කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.

1. එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගතයුතුය .

2. එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.

3. සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල්ට් පෙති දෙකක් ලබා ගන්න

4. පැය 48 කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

5. එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇතිවේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

6. උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.

7. නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශ්‍ය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න.

8. එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගෙ සාමාන්‍ය ආහාර වේල ලබාගන්න.

9. සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරන්න.

10 දින තුනක් පමණ යන තෙක් ඇඟ වෙහෙසන කාර්යයන් කිරීමෙන් වළකින්න.

11 දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබාදුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.

කොවිඩ් ආසාදිත රෝගියකු නිවසේ සිටියදී සෑම විටම අන් අයගෙන් වෙන්ව කටයුතු කළ යුතු බවද ආපදා පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

එසේම මෙම කරුණුද කොවිඩ් ආසාදිතයකු නිවසේ සිටි නම් අනුගමනය කළ යුතුය.

1. හිරු එළිය වැටෙන කාමරයක තනිවී සිටීම වැදගත්

2. තමන් වෙනම වැසිකිළියක් භාවිත කිරීම.

3. විවේකීව සිටීම වැදගත්.

4. ඇඳේ වැතිර සිටිනවිට වම් හෝ දකුණු ඇලයට හැරී සිටිය යුතුය. කොට්ට කිහිපයක් උඩ හිස තබා ගැනීම ශ්වසනය සඳහා පහසුය.

5. විජලනය වීම වළක්වා ගැනීමට දියර වර්ග නිතර පානය කරන්න.

6. නිදන්ගත රෝග ඇති අයකු ඔවුන්ගේ බෙහෙත් වර්ග නිසි අයුරින් භාවිත කරන්න

7. හෘද රෝගීන් ඔවුන්ගේ ඖෂධ නිසි වේලාවට ලබා ගන්න.

8. දියවැඩියාව ඇත්නම් ඖෂධ ගන්න අතරතුර ආහාර පාලනය කිරීම වැදගත්.

9. ඇදුම රෝගය තිබේ නම් ඉන්හේලර් එක පාවිච්චි කළ යුතුය.

10 දිනකට දෙවරක් උණු වතුර හුමාලය ආග්‍රහණය කිරීම පෙණහලුවල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඉවහල් වෙයි.

11 මුව ආවරණය පැලඳිය යුතුය.

12 රෝගි තත්ත්වය උත්සන්න වනබව හැඟේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කර ගතයුතුය.

(Aruna)