Thursday, May 16, 2024
Follow Us
දෙහිවල බෝම්බකරුගේ බ්‍රිතාන්‍ය ත්‍රස්ත සබඳතා හෙළිවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී දෙහිවල ලැගුම්හලක් තුළ බෝම්බ පුපුරවා ගනිමින් මියගිය අබ්දුල් ලතී්ෆ් ජමීල් මොහමඩ්, එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින වකවානුවේ පටන් මුස්ලිම් අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ලන්ඩන්හි ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කල්ලි නායකයෙකු වන අන්ජෙම් චෞද්රි නමැති පුද්ගලයෙකු සමග දෙහිවල බෝම්බකරු සබදතා පවත්වා තිබෙන අතර අන්ජෙම් චෞද්රි සැලකෙන්නේ දැඩි මතධාරී උමතු දේශකයෙකු ලෙසයි.

චෞද්රිගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන al-Muhajiroun නමැති සංවිධානය 2005 වසරේදී ලන්ඩන්හි ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන්පසු එම සංවිධානය බ්‍රිතාන්‍ය රජය විසින් තහනම් කළේය. කෙසේ වෙතත් එම සංවිධානය ඉන් පසු විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක වූ අතර එය තවමත් ක්‍රියාත්මක වන බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

පසුගිය කාලයේදී බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් අයිසිස් සංවිධානය සමග සම්බන්ධ කිරීම සදහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත්තේ ද මෙම අන්ජෙම් චෞද්රි සහ ඔහුගේ තහනම් සංවිධානය බව වාර්තා වේ.

ලන්ඩන්හි සිදුකළ ත්‍රස‍්ත ප්‍රහාර කිහිපයකටම චෞද්රිගේ තහනම් සංවිධානය සෘජුව සම්බන්ධ වී ඇති අතර එම ත්‍රස්ත ප්‍රහාර සිදුකළ පුද්ගලයන් සියලු දෙනා පුහුණු කර ඇත්තේ ද චෞද්රි විසිනි.

ජමීල් මොහමඩ් 2006 - 2007 වකවානුවේදී ලන්ඩන්හි අධ්‍යාපනය හැදෑරූ අතර චෞද්රි සමග සම්බන්ධ වී ඇත්තේ එම වකවානුවේදීය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ජමීල් මොහෙමඩ්ගේ සහෝදරිය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔහු අන්තවාදී අදහස් දැරීමට හා දැඩි ආගමික මතධාරියෙකු වීමට පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන වකවානුවේදී බවයි. ජමීල් මොහමඩ් ලන්ඩන් වෙත යනවිට සිටි මානසික තත්ත්වයම ඔහු ලන්ඩන්වල සිට නැවත පැමිණෙද්දීද සිටි බවත්, එහෙත් ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි පැමිණි පසු සම්පූර්ණ වෙනස් පුද්ලගයෙකු බවට පත්ව සිටි බවත්ය.

දිගු රැවුලක් සමග ඕස්ට්‍රේලියාවේ සිට නැවත පැමිණ ජමීල් මොහමඩ් කිසිදු පුද්ගලයෙකු සමග හෝ සිනා නොවූ බවත් කතාබහ ද බොහෝදුරට අඩු කළ බවත් ඇය පවසා තිබෙනවා.

(LNW)