Thursday, May 16, 2024
Follow Us
කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වුණොත් ඇප නෑ. වසර 10ක සිර දඬුවම් !

කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

මෙම සිදුවීම් ඉදිරියේ පොලිසිය ඉතාම ඉවසීමෙන් කටයුතු කළ නමුත් එම ඉවසීම පොලිසියේ දුර්වලතාවයක් ලෙස දකින්නේ නම් එය ඔවුන්ට සිදුවන ඉතාම විශාල වරදක් බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.

බීමත්ව ක්‍රියාකළ සුළු පිරිසක් පෙරේදා (12) සවස කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ වෙළඳසල් කිහිපයකට පහරදීමත් සමඟ එදින රාත්‍රියේ පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බවත් එම තත්වය එතැනින් නතරවනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ නමුත් ඊයේ (13) දිනයේත් කුලියාපිටිය ප්‍රදේශයේ දේපළ හානි කිරීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස ඊයේ රාත්‍රියේදී මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බවයි ඒ මහතා සඳහන් කළේ.

කඩාකප්පල්කාරී අන්තවාදී ක්‍රියාවන් වහාම නතර කරන ලෙස තමන් තරයේ අවවාද කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

(Lanka Leads News)