ධීවර අපනයනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමට යාත්රා නිරීක්ෂණ පද්ධතිය උල්ලංඝනයට එරෙහිව මාස හයක දැඩි තහනමක්.
නීත්යානුකූල සහ තිරසාර පිළිවෙත් අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ධීවර ප්රජාවගෙන් ඉල්ලීමක්.
ශ්රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්රයේ තිරසාරභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් ප්රධාන ප්රතිපත්තිමය තීරණයක් ප්රකාශයට පත් කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, 2026 පෙබරවාරි 01 සිට, විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝණය කරන හෝ යාත්රා නිරීක්ෂණ පද්ධතිය (VMS) හිතාමතා ක්රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට, පවතින නීති රෙගුලාසි යටතේ ලබා දිය හැකි මාස හයක දැඩි ධීවර තහනම ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණාත්මක පියවර, නීතිවිරෝධී, වාර්තාගත නොවූ සහ අක්රමවත් (IUU) ධීවර කටයුතු මැඩලීම සඳහා ඉලක්ක කර ඇති අතර, එමගින් මෙරට සමුද්ර සම්පත්වලට, ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ල වී ඇති තර්ජන අවම කිරීම අපේක්ෂා කෙරේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා සියලුම යාත්රා නියමුවන්ගෙන් සහ කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින්නේ, තම මුහුදු ගමන පුරාවට VMS පද්ධති සක්රීයව තබා ගන්නා ලෙස සහ සමුද්රීය සීමාවන්ට දැඩි ලෙස ගරු කරන ලෙසයි.