Wednesday, September 09, 2026
Follow Us
විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් දෙන්න කටයුතු කරනවා -අගමැතිනි

 

නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමත් ආරම්භ කළා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව නේවාසිකාගාර ව්‍යාපෘතිය තුළින් විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් සැලසෙන බවත්, නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය අද (09) පාර්ලිමේන්තුවේදි මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2025 වසර සඳහා නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 376 ක් සහ 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය උදෙසා රුපියල් මිලියන 453ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය උසස් අධ්‍යාපන සහ වෘත්තියේ අධ්‍යාපන අමාත්‍යාංශය 2026 වසර සඳහා නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රුපියල් මිලියන 400යි, 2026 නව නේවාසිකාගාර ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 1500යි වෙන් කළා, මේ සියලුම මුදල් දේශීය ප්‍රතිපාදන අපි ණය වෙලා නෙවෙයි මේ නේවාසිකාගාර ව්‍යාපෘතිය කරන්නේ. ඒ වගේම 2025 හා 2026 අයවැය ලේඛන මගින් විදේශ ණය යටතේ නව නේවාසිකාගාර ඉදි කිරීම උදෙසා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයක් තිබෙනවා. ඒක තමයි විදෙස් ණය යටතේ වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය, සෞදි සංවර්ධන ණය යටතේ නේවාසිකාගාර සඳහා 2026 රුපියල් මිලියන 321ක් ලබා දී තිබෙනවා.

සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සෞදි ණය යටතේ නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 331ක් වෙන් කර තියෙනවා.

නේවාසිකාගාර නවීකරණය සඳහා වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 10.46 වෙන් කරලා තියෙනවා. 2025 වසර සඳහා රුපියල් මිලියන 466ක් සහ 2026 සඳහා රුපියල් මිලියන 662.46ක් වෙන් කර තියෙනවා.

නව නේවාසිකාගාර 55 ක් 2025,2026 වර්ෂවල සහ ඉදිරියට හදන්න නියමිතයි.

නේවාසිකාගාර පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන් ප්‍රමාණය 16000ක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතිනවා. එයට පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධ මාර්ගෝපදේශ ද ඇතුළත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පෞද්ගලිකව නිවාසිකාගාර, එහෙම නැත්නම් නිවාස ලබාගෙනත් ඉන්න අවස්ථා තියෙනවා. නමුත් ඒ සඳහා මාර්ගෝපදේශයක් නැහැ. ඒවායේ තිබිය යුතු අයකිරීම්, අවම තත්ත්වයන් පිළිබඳ මාර්ගෝපදේශයක් මෙතෙක් කල් තිබුණේ නැහැ. නමුත් දැන් අපි ඒ සඳහා මාර්ගෝපදේශ ඔවුන්ගේ සුරක්ෂිතභාවයත්, ආර්ථික සූරාකෑමට ලක් නොවන ලෙසත් මාර්ගෝපදේශ නිකුත් කරන්න දැන් සැලසුම් කරගෙන යනවා.

යෝජිත ප්‍රතිපත්තිය මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථය යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් සමාලෝචනය කරමින් පවතිනවා. මෙම වැඩසටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල සමග සෘජුව සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර නැහැ.

මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ සිසුන් සඳහා සාධාරණ විනිවිධභාවයෙන් යුත් ආරක්ෂිත, දැරිය හැකි, ප්‍රවේශ විය හැකි සහ සියලු දෙනා ඇතුලත් කරගන්නා නේවාසිකාගාර පහසුකම් සහතික කිරීමයි. විශේෂයෙන්ම ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිවාසිකාගාර අවශ්‍යතා ගැනත් මේ ව්‍යාපෘතිය හරහා අපි සලකා බලලා ඒවට ඒවා අමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.

විශ්වවිද්‍යාල නේවාසිකාගාර ලබාගැනීමට නොහැකි සිසුන්ට පෞද්ගලික ලියාපදිංචි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකි බවද මෙම ප්‍රතිපත්තිය මගින් පිළිගෙන තිබෙනවා.

පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන යටතේ නවාතැන් පහසුකම්, සනීපාරක්ෂාව, ආරක්ෂාව, ප්‍රවේශ පහසුකම්, දැරිය හැකි මිල සහ ශිෂ්‍ය සුබසාධනය සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. එමෙන්ම සාධාරණ ලෙස ස්ථාන වෙන් කිරීම විශේෂයෙන් අබාධ සහිත සිසුන් සඳහා ප්‍රමුඛතාවය ලබාදීම, පෞද්ගලික නේවාසිකාගාර අධීක්ෂණ කමිටුවක් මගින් අධික්ෂණය කිරීම, නිති පතා පරීක්ෂා කිරීම සිදුකිරීම සහ අනුකූල නොවන නේවාසිකාගාර සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද විධිවිධාන ඇතුළත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල මගින් ලැබෙන නිරීක්ෂණ සහ නිර්දේශ සලකා බලා ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කිරීමෙන් අනතුරුව එය අවසන් කිරීමේ ක්‍රියාවලියට යොමු කරනවා.

මේ නේවාසිකාගාර පනස් පහ තුළින් අපි ප්‍රමුඛතාව දීලා තියෙන්නේ නාගරික ප්‍රදේශවලින් දුරස්ථව තිබෙන විශ්වවිද්‍යාලවලට. අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ වවුනියා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙකක් සමග. ඒ සමග මේ වෙනකොට වවුනියාව, කිලිනොච්චි, අග්නිදිග, ඌව වෙල්ලස්ස, සබරගමුව වැනි විශ්වවිද්‍යාල වලට තමයි අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. එතන තමා මේ ප්‍රශ්නය උග්‍ර ලෙස තියෙන්නේ. ඒ වගේම නේවාසිකාගාර ප්‍රතිපත්තිය තුළ අපි සලකා බලන දෙයක් අපිට සියලුම පළාත්වල පුද්ගලිකව හොයාගන්න තියෙන නේවාසික පහසුකමුත් සීමා සහිත නිසා පෞද්ගලක සහ රාජ්‍ය හවුල්කාරී වැඩපිළිවෙලක් හරහා උදාහරණයක් හැටියට රජය පැත්තෙන් ඉඩම ලබාදීමේ එකඟතාවය මත අපිට වැඩිපුර නේවාසිකාගාර ඉදිකිරීමේ අදහස ගැනත් අපි සලකා බලනවා. විශ්වවිද්‍යාල සමඟ ඒ පිලිබඳ සාකච්ඡා කරමින් ඉන්නේ.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වගේම සාගර විශ්වවිද්‍යාලය සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලවලත් නේවාසිකාගාර මෙන්ම ශිෂ්‍ය සුභසාධන කටයුතු ගැනත් සොයා බලන්න කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.