පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්‍රමවේදයක්
- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දිවයින පුරා පාසල්වල පවතින පරිගණක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක (Projectors) සහ සුහුරු පුවරු (Smart Boards) ඇතුළු ඩිජිටල් අධ්‍යාපනික උපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් වියදම් ලබා දීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
පාසල් මට්ටමින් දෘඪාංග හා ජාලකරණ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පුහුණුව ලත් ගුරු සංචිතයක් පිහිටුවා ඇති අතර, උතුරු පළාතේ කලාප 13 සඳහා ගුරුවරුන් 76 දෙනෙකු දැනටමත් ඒ සඳහා යොදවා තිබෙනවා. පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස මෙම සංචිතය තවදුරටත් පුළුල් කර 2026 ඔක්තෝබර් මාසයේදී තවත් පිරිසකට විශේෂ පුහුණුව ලබාදීමට නියමිතයි. මෙම නඩත්තු කටයුතු වෙනුවෙන් කැපවන ගුරුවරුන්ගේ ගමන් වියදම් සහ ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලෙස විධිමත් ගෙවීම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටද අදාළ අනුමැතීන් ලබාගැනීමට කටයුතු කරමින් තිබෙනවා.
ඩිජිටල් යටිතල පහසුකම් අලුත්වැඩියාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් වෙත අමතර මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ අනුව 2025 සහ 2026 වර්ෂ සඳහා වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත් ඇතුළත්ව විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මීට අමතරව, අග්‍රාමාත්‍ය කාර්ය සාධන බලකාය හා එක්ව ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් නඩත්තුව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කර ඉදිරියේදී පාසල් වෙත යොමු කිරීමටද සැලසුම් කර තිබෙනවා.
එමෙන් ම වගකීම් කාලය අවසන් වූ උපකරණ සඳහා අවම මිල ගණන් කැඳවා අලුත්වැඩියා කිරීමටත්, සිසුන් ද මෙම නඩත්තු කටයුතු සඳහා පළාත් මට්ටමින් පුහුණු කිරීමටත් පියවර ගෙන ඇති බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.