Thursday, May 02, 2024
Follow Us
චන්ද්‍රිකා - මෛත්‍රී හවුලෙන් සජිත්ට දිගටම කොළ එළි. ඉදිරි දෙදින තීරණාත්මකයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සියලු වාදභේද අතැර යළි සමඟි වී ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු.

එය සනාථ කරමින් ඊයේ (27) දිනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සහභාගී වී ඇති බවත් ජනාධිපතිවරයා ඉතාම උණුසුම් අයුරින් ඒ මහත්මියව පිළිගෙන ඇති බවත් වාර්තා වේ.

තීරණාත්මක චන්ද්‍රිකා සහ මංගල

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රීලනිපය තුළ නැවතත් තීරණාත්මක භූමිකාවකට එළඹීම සජිත් පාර්ශ්වයට අතිශයින් වැදගත් ඉඟියක් වන්නේ සජිත් පාර්ශ්වයේ ප්‍රබලතමයා වන මංගල සමරවීර යනු චන්ද්‍රිකා මැතිණියගේ දීර්ඝ කාලීන දේශපාලන හිතවතා වන නිසාය.

2015 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතාව ගෙනඒම, ඒ මහතාව පක්ෂ සභාපති තනතුරට පත් කරගැනීම, එජාපෙ - ශ්‍රීලනිප ජාතික ආණ්ඩුව පිහිටුවීම වැනි කරුණු ගණනාවකදී තීරණාත්මක සාධකය වූයේ චන්ද්‍රිකා මැතිණියයි. එජාප පාර්ශ්වයෙන් ඇයව ඒ සඳහා සම්බන්ධීකරණය කළේ මංගල සමරවීර මහතා විසිනි. ඒ අනුව නැවතත් සජිත් පාර්ශ්වය සහ ශ්‍රීලනිපය අතර හවුල් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය වැදගත්ම සාධකය සූදානම් බව ශ්‍රීලනිප පාර්ශ්වය මේ වනවිට ඔප්පු කර තිබේ.

මංගල සමරවීර මහතා සජිත් පාර්ශ්වය සමඟ එක් නොවුණි නම් ඔවුන්ට මෙතෙක් දුරට මේ සටන ගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැති බව ද ඔවුන් පිළිගත යුතු සත්‍යයකි.

එස්.බී. එළවීම සහ ලසන්ත ගෙන ඒම

එසේම දැඩි රාජපක්ෂ හිතවාදී සහ එජාප විරෝධී භූමිකාවක් රඟ දැක්වූ එස්.බී. දිසානායක මහතාව ශ්‍රීලනිප භාණ්ඩාගාරික තනතුරින් ඉවත් කරදැමීම ද සජිත් පාර්ශ්වයට දුන් පැහැදිලි සංඥාවක් වේ. ශ්‍රීලනිපය සහ සජිත් පාර්ශ්වය අතර එකඟතාවක් ඇති වීමට නියමිත බව හෙළිදරව් කරමින් මාධ්‍ය ඉදිරියේ ඊට පහර දුන්නේ එස්.බී. විසිනි. දැන් ඔහුව ඉවත් කර තිබේ.

එස්.බී. ගෙන් හිස්වූ භාණ්ඩාගාරික තනතුරට දැඩි චන්ද්‍රිකාවාදියකු ලෙස ප්‍රකට ලසන්ත අලගියවන්න මහතාව පත් කිරීම ද සජිත් පාර්ශ්වයේ නොමඳ සතුටට තුඩු දෙන කාරණාවක් විය යුතුය. මන්දයත් ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකා කොතෙක් ශක්තිමත් වේද, ඒ තරමටම මංගලට ශ්‍රීලනිපයට කළ හැකි බලපෑම ද ඉහළ යන බැවිනි. එසේම එවන් තනතුරක් පිරිනැමීම හරහා මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට තම එකඟතාව පළ කර ඇති බැවිනි.

ප්‍රමාදයට අනතුරු හැඟවීමක්

එමෙන්ම ශ්‍රීලනිප පාර්ශ්වය මෙසේ තමන්ගේ පැත්තෙන් සියල්ල සූදානම් කරගනිද්දී තවමත් පමාව ඇත්තේ සජිත් පාර්ශ්වයෙනි. ඔවුන් ප්‍රකාශ කළ පරිදි එජාපය තුල බලය අල්ලා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරගැනීමට ඔවුන්ට තවමත් නොහැකි වී තිබේ.

පසුගිය 23 වනදා වනවිට එය සම්පූර්ණ කරගන්නා බව ඔවුන් ප්‍රකාශ කළත් මෙතෙක් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ලැබී නැත. ජනාධිපතිවරයා සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතාට ඉතාම පැහැදිලිව හතර වතාවක්ම පවසා තිබුණේ මෙය ඉතාම ඉක්මනින් සිදුවිය යුතු බවත් තමන්ට තත්වය තවත් අල්ලාගෙන සිටීම අසීරු බවත්ය.

ඒ අනුව සජිත් පාර්ශ්වයේ ප්‍රමාදයට අනතුරු හැඟවීමක් ලෙස කලක් ප්‍රමාද වී තිබුණු ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡාව යළි ඊයේ පවත්වන ලදී. ඒ, ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ව උනන්දු කිරීමේ අරමුණින් බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් පවතින තත්වය අනුව සජිත් පාර්ශ්වයට ඉදිරි දින දෙක ඉතාම තීරණාත්මක වන අතර 30 වනදා වනවිට පක්ෂයේ බලය කෙසේ හෝ අල්ලා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ සහ අභියෝගය වී තිබේ.

(LNW)