Friday, May 17, 2024
Follow Us
ශ්‍රීලනිපයේත් අර්බුදයක් - ප‍්‍රබලයින් 04 ක් අද ඉවතට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. රාතී‍්‍ර 07.00 ට මෙම රැස්වීම ආරම්භ වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස ගන්නා තීරණය පිළිබඳ මෙහිදී අවසන් එකගතාවකට පැමිණීම ප‍්‍රධාන අපේක්ෂාවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වනු ඇති බවට වාර්තා පළ වුවද, පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදු කර නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා යළි හෙට (27) ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී වැඩි අවධානයක් යොමු කරන බවයි නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න සඳහන් කළේ.

කෙසේවෙතත්, නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාව වර්ජනය කිරිමේ සූදානමක පසුවන බවට ද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

එම මන්තී‍්‍රවරුන් අතරට එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ආචාර්ය සරත් අමුණුගම ද අයත්. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගෙන් විමසීමක් කලා.

ඔහු සඳහන් කළේ තමන් ඊට සහභාගි නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ ස්ථාවරයන්වල සිටිමින් කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම යන මන්තී‍්‍රවරුන්ට මෙන්ම හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේටද අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ආරාධනා කර නොමැති බවයි.

ඔවුන් අද දිනයේ පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ද, නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත තහවුරු කළා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 03 වැනිදා සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

(Neth)