Wednesday, October 23, 2024
Follow Us
කටවුට්, බැනර් වහාම ගලවන්නැයි ගෝඨාගෙන් නියෝගයක්

තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය කරමින් තිබෙන කටවුට් සහ බැනර් වහාම ගලවා ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින්ට නියෝග කර තිබේ.

තමන් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යන බවට පොරොන්දු දී තිබියදී මෙසේ බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නොසතුට පළ කර ඇත.

තමන්ගේ ප්‍රකාශයෙන් පසුදින සිටම මෙසේ දිවයින පුරා පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම තුළින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විස්වසනීයත්වය පළමු මොහොතේදීම බිඳ වැටුණු බවත් එය විශාල හානියක් බවත් ඒ මහතා විසින් අවධාරණය කර තිබෙන බව වාර්තා විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතැම් මාර්ග පවා අවහිර වන ලෙස, පදිකයින්ට හිරිහැර වන ලෙස මෙන්ම රාජ්‍ය දේපළ පවා භාවිතා කරමින් තොරණ්, කටවුට් සහ බැනර් ඉදිකිරීම ජනතාවගේ ද බොහෝ විවේචනයට ලක්ව තිබුණු අතර ඒබව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිරීක්ෂණ ඒකකය විසින් ද ඒ මහතාට පෙන්වා දී තිබිණි.

(LNW)