Wednesday, October 23, 2024
Follow Us
’’මා කෙරෙහි තැබූ විශ්වාසයට අඹ මල් රොණකින්වත් හානියක් වෙන්නේ නැහැ’’

තමන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන ජාතික ජන බලවේගයේත් රටේ පොදු මහ ජනතාවගේත් විශ්වාසයට සහ බැඳීමට අඹ මල් රොණකින්වත් හානියට බඳුන්වීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහතික කළේය.

ජාතික ජන බලවේගය විසින් අනුර දිසානායක මහතා සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව රැළිය අමතමින් ඔහු ඒ බව අවධාරණය කළේය.

කැත වී තිබෙන, පිළුණු වූ, දුෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු, මහජනයාට ලෙන්ගතු, අවංක දේශපාලන පොර පිටියක් නිර්මාණය කරන බවටද ඔහු සහතිකයක් දුන්නේය.

මේ රටේ පළමු පියවර ලෙස එය ක්‍රියාත්මක කළයුතු බවයි දිසානායක මහතා සඳහන් කළේ.

"71 වසරක් ගමන් කරන ලද විනාශකාරී ආර්ථික මාවත රටකට ආර්ථික තලයේ දිය හැකි සියලු ව්‍යසන අත්පත් කර දී හමාරයි. තීරණාත්මක ලෙස මෙම ආර්ථික ගමන් මගෙන් වෙනස් විය යුතුව තිබෙනවා. ජාතික නිෂ්පාදනයට පණ දෙන අනගිතම සම්පත් වූ මානව සම්පත ලෝකයේ දියුණුම මානව සම්පත් බවට පරිවර්තනය කරන ආර්ථිකයේ ප්‍රතිලාභ පෙරළා ජනතාවට ගලා ගෙන එන නව ආර්ථික ගමන් මඟකට අවතීර්ණ කරන බව සහතික කරනවා."

එමෙන්ම සමාජය වෙලා පවතින සියලුම වර්ගයේ බෙදීම් මුළුමනින්ම ඉවතලන බව හෙතෙම ප්‍රකාශ කළේය.

"ජාතිකත්වය මත වන බෙදීම්, ලිංගිකත්වය මත, කුලය මත පදනම් වූ බෙදීම් ආදී සියලු බෙදීම් මුළුමනින්ම ඉවතලන ලද අධ්‍යාත්මයෙන් බැදෙන ලද මහා මිනිස් සමාජයක් මේ මාතෘභූමිය තුළ ස්ථාපිත කරනවා."

මේ වන විට දැඩි අවධානයට යොමුව තිබෙන මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ද අනුර දිසානායක මහතා සිය මතය ප්‍රකාශ කරන ලදී.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන විට එක් ජන කොටසක් ගැන තව ජනකොටසක් සැකයෙන් බලන, වෛරයෙන් බලන තත්ත්වයක් තුළ මහජනයාගේ ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවයි ඔහු කියාසිටියේ.

"මහජනයාගේ ආරක්ෂාව සහතික කළ හැකි වන්නේ කෙසේද ? කිසිදු ජාතිවදියෙකුට මහජනයාගේ ආරක්ෂාව සහතික කරන්න බැහැ. ඔවුන්ට හැකි වන්නේ ගම්මාන බෙදා වෙන්කරන මුර කපොලු වැඩි කිරීමට පමණයි."

මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ සියලු ජන කොටස්වල අනන්‍යතා පිළිගන්නා ජාතික සමඟියෙන් පමණක් බව ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ අනුව ජාතික සමඟිය නිර්මාණය කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

(LNW)