Sunday, September 08, 2024
Follow Us
ද්විත්ව පුරවැසිභාවය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බාධාවක් නෑ?

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බව ඇතැම් පුද්ගලයන් පවසයි. ඔවුන්ගේ තර්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය තවමත් අහෝසි කරගෙන නොමැති බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි. එසේ නාමයෝජනා ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

පසුගිය 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වූ අතර ඊට හේතුව වූයේ ඇය ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වීමයි.

කෙසේ වෙතත් මෙම නීතිය ජනාධිපති තනතුර දැරීම සඳහා අදාල නොවන බවට වාර්තා පළවේ.

ඊට හේතුව ලෙස සඳහන් වන්නේ 19 වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට ජනාධිපති තනතුර දැරීමට නොහැකි බවට වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති නමුත් ඊට අදාල විධිවිධාන ජනාධිපති මැතිවරණ පනතට මේ වනතෙක් එකතු කර නොතිබීමයි.

අදාල විධිවිධාන කෙටුම්පත් කර ඇති නමුත් එම කෙටුම්පත් මේ වනතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත. මෙම කෙටුම්පත සකස් කර වසරකට වැඩි කාලයක් ගත වී ඇති අතර ඊට අදාලව නීතිපතිවරයාගේ නිරීක්ෂණද ලබාගෙන තිබේ. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැතිවරයාගේ මැදිහත්වීම මෙත මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය දැරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය බාධාවක් වුවද ජනාධිපති මැතිවරණ පනතට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැත. ඒ ජනාධිපති මැතිවරණ පනත හරහා ඊට අදාල ප්‍රතිපාදන සලසා නොමැති බැවිනි.

(LNW)