Sunday, September 08, 2024
Follow Us
ගෝඨා පොහොට්ටු සාමාජිකත්වය නොගත් එක හොඳයි. ශ්‍රීලනිපයට ආවා නම් හරි ! - මහින්ද

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කෙරුණ ද ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගෙන නිර්පාක්ෂිකව සිටීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට මෙතෙක් ශ්‍රීලනිපය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව අවධාරණය කළ ඒ මහතා එසේ සහාය දීමට තීරණය කළැයි සරත් අමුණුගම මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කර තිබුණු ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ "එහෙම තීරණයක් නෑ. මොනවා අහගෙන ඉන්නවද දන්නෙ නෑ රැස්වීම්වලට ඇවිත්. නිදාගෙන හිටියද මන්දා. ඇත්තටම ශ්‍රීලනිප මධ්‍ය කාරක සභාවේ තීන්දුවක් තියෙන්නේ ශ්‍රීලනිපයත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුයි කියලා" යැයි ප්‍රකාශ කරමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව පැවසූ අමරවීර මහතා එහිදී පළමුව රට ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එකඟතාවක් ලබාගැනීමටත් දෙවනුව ශ්‍රීලනිපයේ අනන්‍යතාවය රැකගෙන කටයුතු කිරීම පිළිබඳවත් අවධානය යොමු කෙරෙන බවයි සදහන් කළේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබාගන්නේ නම් එය සන්ධාන සාකච්ඡා සඳහා ඉතාම පහසුවක් වනු ඇති බවත් ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිප සාමාජිකයින් පෙළඹවීමට හොඳ උත්තේජකයක් වනු ඇති අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීය.

(LNW)