Wednesday, October 23, 2024
Follow Us
අපේක්ෂකත්වය මගේ හැකියාවෙන් මම ගත්තේ. කාටවත් නටන්නෙ දෙන්නෙ නෑ ! - ගෝඨා

තමන්ට කිසිවෙකුත් විසින් රිදී බන්දේසියක තබා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුන් බවත් තමන් එය තමන්ගේ හැකියාවෙන් සහ කැපවීමෙන් දිනාගත් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමන්ට ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ඊට අනුබද්ධ සංවිධානවල පුද්ගලයින් කිහිපදෙනෙක් තැන් තැන්වල සිදුකළ ප්‍රකාශ සහ ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියෙහි අභ්‍යන්තර කවයේ සාමාජිකයින් සමඟ පවසා ඇත.

"මට අපේක්ෂකකම අරන් දුන්නේ අරයා, මෙයා, එයාලා නැත්තං මං නෑ වගේ කතා සමහරු පතුරුවනවා. මටත් ආරංචියි. කවුරුවත් මට රිදී බන්දේසියක තියලා අපේක්ෂකකම ගෙනත් දුන්නෙ නෑ.

මං මගේ හැකියාවෙන්, දක්ෂකමෙන්, කැපවීමෙන් ඒක දිනාගත්තා. එච්චරයි !

ඒවගේම, ඔය කාටවත් මං ජනාධිපති වුණාම නටන්න දෙන්නෙත් නෑ. මං ජනතාවට පොරොන්දු මාලාවක් දැනටමත් දුන්නා. කවුරු විරුද්ධ වෙන්න ආවත් මං ඒවා ඉෂ්ඨ කරනවා. එතෙන්දි මට කවුරුත් එකයි. සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා හරි මං ඒක කරනවා. " යනුවෙන් ඒ මහතා අවධාරණය කළ බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට පිවිසීම සඳහා ඇත්තෙන්ම උදව් කළ සහ ඉදිරියට ඒ මහතාගේ දේශපාලන ව්‍යාපාරය ඇත්තටම හසුරුවන ඉතාම සුළු පිරිසකගෙන් යුත් අභ්‍යන්තර දේශපාලන කවයේ සාමාජිකයින් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ අගෝස්තු 11 වනදා රාත්‍රියේම බව වාර්තා විය.

(LNW)