Tuesday, October 22, 2024
Follow Us
මොනම ‌හේතුවකටවත් ශ්‍රීලනිපය පොහොට්ටුවට දිය කරන්න අපි සුදානම් නෑ

ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ පැවති උත්සවයකට ඒක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි පැහැදිලිවම කිවයුතු කාරණයක් තිබෙනවා, මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදී, පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒක පොහොට්ටුවට වේවා, එක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ.

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් එක් කෙනෙක්ට ජන්ද 250 යි, තව එක් කෙනෙක්ට 300 නම් 300 ගත්ත කෙනා දිනුම්. හැබැයි ජනාධිපතිවරණයේ එහෙම නෙමෙයි. වැටෙන සමස්ත ඡන්ද වලින් 50% කුත් එක් ඡන්දයක් ගන්න ඕන තනි පුද්ගලයෙක්. ඡන්ද ලක්ෂ 130 ක් වැටෙයි කියලා බලාපොරොත්තු වුණොත් හැටපන් ලක්ෂ එකක් ජන්දයක් ගන්න ඕන. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යි, යූ.එන්.පී එකට ලක්ෂ 35 යි, ශ්‍රී ලංකා එකට ලක්ෂ 15 යි, ප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසා. මේ ප්‍රතිපලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ.එයාට ජන්ද පහළොස් ලක්ෂ එකක් අඩුයි.

ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕන. ලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕන. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ. දැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑ. ලක්ෂ 15 ක් නැතිව. ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්, කෑගැහුවත් අපේ ලක්ෂ 15 නැතිව දිනන්න බෑ. අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද ලක්ෂ 35 ක් තියාගෙන අපි තමයි ජනාධිපති කිව්වට වැඩක් නෑ. ඉතුරු ලක්ෂ 30 හොයා ගත්තේ නැත්නම් ඒ ගොල්ලන්ටත් බෑ. ඒ අයටත් අපේ ඡන්ද ලක්ෂ15 ආවොත් තමයි තව ලක්ෂ 15 ක් හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ දෙපැත්තටම තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්න, ඔබතුමන්ලා කළකිරෙන්න, දුක් වෙන්න අවශ්‍යතාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ජනාධිපති හදන්න කාටවත් පුළුවන්කමක් නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ජා කරලා තියෙනවා. ඉදිරියේදී තව සාකච්ජා කරනවා. හැබැයි සාකච්ජා වල තවම අවසන් තීන්දුවක් නෑ. අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවද? කොහොමද? මොනවද? මොකක්ද ? කරන්නේ කියලා තීන්දු කරන්නේ. හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ.

(Lanka Leads)